රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීහු අද ලෙඩ වෙති

  👤  3304 readers have read this article !
By mawbima 2018-06-14

නුවන් හෙට්ටිආරච්චි

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ වැටුප් හා දීමනා වැඩි කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවට වසර තුනක් තිස්සේ කිසිදු පිළිතුරක් නොලද නිසා රාජ්‍ය පරිපාලන සේවයේ සේවකයෝ අද (14දා) ලෙඩ නිවාඩු යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. මෙවැන්නක් සිදුවන්නේ රාජ්‍ය සේවා ඉතිහාසයේ පළමුවරට බව පැවසේ.

අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන්ගේ සිට සහකාර ලේකම්වරුන් දක්වාත් දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සිට සහකාර අධ්‍යක්ෂකවරුන් දක්වාත් දිසාපතිවරුන්, අතිරේක දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙසේ ලෙඩ නිවාඩු වාර්තා කරන පිරිසට අයත් බව සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා පැවැසීය.
ඊයේ (13දා) නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය පරිපාලන ආයතන තුළ අද (13දා) රාජකාරි කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක වීමට මේ වෘත්තීය ක්‍රියාමාර්ගයන් විශාල බලපෑමක් ඇතිවිය හැකි බව පෙන්වා දෙන ලේකම් රෝහණ ද සිල්වා පවසන්නේ, දිසාපතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉටුකර ගැනීමට තිබෙන කිසිදු කටයුත්තක් අද (13දා) ඉටුකරගත නොහැකි වන බවයි.

අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව පවසමින් අවුරුදු තුනක කාලයක් ලබාගෙන පසුගිය 12දා නැවත අනු කමිටුවක් පත් කර ඒ ගැන අධ්‍යයනය කිරීමට මුදල් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් පත් කිරීම රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වූ ප්‍රධාන කරුණ ලෙස එම සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙයි.

පරිපාලන සේවා සංගමය ඉදිරිපත් කළ වැටුප් හා දීමනා ප්‍රමාණයන් නොලැබුණද දැනට කැබිනට් පත්‍රිකාව මඟින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිර්දේශ කර ඇති වැටුප් හා දීමනා මුදල හෝ ලබා දීමට පියවර ගන්නා ලෙසත් ලේකම්වරයා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon