පාපැදි සවාරියට ආ නේපාල ජාතිකයා ගඟට බිලි

  👤  3502 readers have read this article !
By mawbima 2018-06-14

මහියංගණය - රංජිත් කරුණාවීර

මහියංගණය ආශි්‍රතව ඊයේ ක්‍රියාත්මක වෙමින් පැවැති ජාත්‍යන්තර ත්‍රාසජනක පාපැදි සවාරියකට සහභාගි වී සිටි නේපාල ජාතිකයකු ඊයේ (13දා) මහවැලි ගඟේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත් විය. දහවල් 12.05ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ රන්දෙණිගල ජලාශයට පහළින් මිනිපේ අමුණ ආසන්නයේ මහවැලි ගඟ හරහා වූ සපත්තු පාලමක් හරහා ගමන් කිරීමේදීය.

සංචාරක ප්‍රවර්ධනය සඳහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන දින 5ක් පුරා ක්‍රියාත්මක වන මෙම රට වටා ත්‍රාසජනක පාපැදි තරගාවලියේ සවාරියේ හතරවැනි දිනයේ තරගාවලිය නිම කිරීමට ඉතා ආසන්න මොහොතක මෙම අවාසනාවන්ත සිදුවීම සිදු විය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාරායන් ගෝපාල් මහර්ජාන් නමැති වයස 33ක පාපැදි තරගකරුවෙකි.

ඊයේ දින නුවරඑළියේ සිට මහියංගණය දක්වා පාපැදි තරග පැවැති අතර තරගකරුවන් 33 දෙනකු සහභාගි වී ඇත. ශ්‍රී ලාංකික තරගකරුවන් 4ක්ද ඊයේ දින මෙම තරගය සඳහා සහභාගිව සිට ඇත. තරගයේ ඉදිරියෙන්ම පැමිණි තරගකරුවන් තිදෙනාගෙන් එක් අයකු සපත්තු පාලම හරහා ගමන් කිරීමේදී අවාසනාවන්ත ආකාරයෙන් අනතුරට පත්ව ඇත.

සපත්තු පාලමේ මැද කොන්ක්‍රීට් කොටසක් කැඩී ගොස් තිබී ඇති අතර එහි කම්බි පෑදී තිබී ඇත. එලෙස පෑදුණ කම්බි පාපැදියේ පැටලී නේපාල ජාතික තරගකරු බිම ඇද වැටී ඇත. ඒ මොහොතේදී මහවැලි ගඟේ ජල මට්ටම සපත්තු පාලමට උඩින් අඩියක් පමණ ඉහළ ගොස් තිබී ඇති අතර සපත්තු පාලම හරි හැටි නොපෙනෙන මට්ටමේ තිබී ඇත.

අතුරුදන් වූ නේපාල ජාතිකයාගේ සිරුර සවස 4.30ට පමණ සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 400ක් පමණ පහළින් ගල් කුලක සිරවී තිබියදී ගම්වාසීන් විසින් සොයාගන්නා ලදී.
හසලක පොලිසිය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරේ. මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon