ප්‍රධාන සැකකාර ‘අසේල කපුවා’ හඳුනා ගනී!

  👤  3710 readers have read this article !
By mawbima 2018-06-14

චාමර අමරසූරිය, මත්තල - ඩී.එන්. ජයසේකර,
කතරගම - කේ.ඩී. දේවප්‍රිය, තිස්සමහාරාම - රොෂාන් රාජික

කතරගම කිරිවෙහෙර විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහසෙන් දේවාලයේ කපු මහතකු ලෙස කටයුතු කළ තැනැත්තකු සොයා පොලිස් කණ්ඩායම් අටක් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.

කිරිවෙහෙර වැඳ පුදා ගැනීමෙන් අනතුරුව නැවත ආවාස ගෙය වෙත වඩිමින් සිටියදී පෙරේදා (12දා) රාත්‍රි 10.50ට පමණ උන්වහන්සේ ඉලක්ක කර ගනිමින් ජීප් රථයකින් විහාර භූමියට පැමිණි තිදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට පලාගොස් තිබිණි.

වෙඩි ප්‍රහාරයෙන් කොබවක ධම්මින්ද හිමියන් සමඟ සිටි කතරගම මධ්‍ය මහ විද්‍යාලයේ ආචාර්ය වීදාපොළ සෝභිත හිමියන්ද තුවාල ලබා ඇත.

උන්වහන්සේ දෙපළ අනතුරුව කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එස්.යූ.එච්. 522 දරන හෙලිකොප්ටර් යානයෙන් උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (13දා) පස්වරුවේ වැඩම කරවනු ලැබීය.

හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා සඳහන් කළේ විහාරාධිපති හිමියන් ඊයේ (13දා) අලුයම සැත්කමකටද භාජන කළ බවයි.

විහාරාධිපති හිමියන්ගේ උදර ප්‍රදේශයට සහ දකුණු අතට වෙඩි වැදී ඇති බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය සිදු වන අවස්ථාවේ කොබවක ධම්මින්ද හිමියන්ගේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියා සහ සිවිල් ආරක්‍ෂක සෙබළුන් දෙදෙනා විහාරස්ථ භූමියේ සිට තිබේ.

වෙඩි ප්‍රහාරයත් සමඟම එම ආරක්‍ෂක නිලධාරීන්ද වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් තිදෙනා පසුපස හඹා ගොස් ඇත.

වෙඩි ප්‍රහාරය සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි අදාළ කපුමහතාගේ නිවෙස ආසන්නයේ නවතා තිබූ මෙකී වෙඩි තැබීම සිදුකොට පලාගිය (උර්ථී ඛ්ඒට් 8531 දරන හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
එසේම වෙඩි ප්‍රහාරය සඳහා යොදා ගත් බව පැවසෙන 'ෂොට් ගන්' වර්ගයේ ගිනි අවියද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මීට අදාළව ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු පොලිස් භාරයට ගත් බවද එම ආරංචිමාර්ගයන් පවසයි.

වෙඩි තැබීම සිදු කළ බවට සැකකරන කපුමහතා සහ ඔහුගේ සහායට පැමිණි බව කියන අනෙක් පුද්ගලයන් දෙදෙනාගේ තොරතුරුද අනාවරණය වී ඇති බවද පොලිසිය පැවැසීය.
ඉහත සඳහන් කළ කපුමහතා කිරිවෙහෙර පුද බිමේ පිහිටි මහසෙන් දේවාලයේ ප්‍රධාන කපුමහතා ලෙස කටයුතු කර ඇති බවත් එහි හිමිකාරිත්වය සම්බන්ධයෙන් හම්බන්තොට පළාත්බද මහාධිකරණයේ නඩුවක් විභාග වී ඇති බවත් සඳහන් වේ.

එම නඩුවෙහි තීරණය ඉකුත් වසරෙහි ප්‍රකාශයට පත් කර ඇති අතර එම දේවාලයෙහි හිමිකාරිත්වය කිරිවෙහෙර විහාරස්ථානයට පවරා ඇත.

මෙම තීරණය සමඟ මෙකී කපුමහතා කොබවක ධම්මින්ද හිමි සමඟ වෛරයක් ඇති කර ගෙන ඇති බවද වාර්තා වේ.

වෙඩි තැබීම සිදු වීමට දින තුනකට පෙරද කපු මහතාගේ සමීපතමයකු විහාරාධිපති හිමිට මරණ තර්ජන එල්ල කර ඇති බවද වාර්තා වේ.

මහසෙන් දේවාලයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඇති වූ වෛරය පිරිමැසීම සඳහා මෙම වෙඩි තැබීම කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කතරගම මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා වන අංජල බණ්ඩාර නමැත්තා යැයි පොලිසිය ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon