රූපවාහිනි නිවේදක හා වැඩිමහල් පුත්‍රයා ලබන 18 තෙක් යළිත් රිමාන්ඩ්

  👤  3443 readers have read this article !
By mawbima 2018-06-14

මිනුවන්ගොඩ - අතුකෝරල

කඩවත සුපිරි වෙළෙඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන රාජ්‍ය රූපවාහිනි නාළිකාවක නිවේදකයා සහ ඔහුගේ වැඩිමහල් පුතුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහර මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සැකකරුවන් දෙදෙනා ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඊයේ (13දා) නියම කළේය.

ඉකුත් 09 වැනිදා රාත්‍රි වත්තල එ‍ෙ¾ඩ්රමුල්ල ප්‍රදේශයේ කායවර්ධන ශිල්පියකුට පහරදී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රියශාන්ත මහේෂ් නිශ්ශංකට සහ ඔහුගේ පුත් තනුජ කාවින්ද නිශ්ශංක (අවු. 24) යන දෙදෙනා මෙසේ නැවත රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. අධිකරණයෙන් ඇප නියම කර ඇති සැකකාර නිවේදකයාගේ පාසල් යන 17 හැවිරිදි පුත්‍රයාද ඊයේ (13දා) අධිකරණයට ඉදිරිපත් විය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්ද්‍රා සේනානායක මහත්මිය පැවැසුවේ ප්‍රධාන සැකකරු තම සේවාදායකයා සම්බන්ධයෙන් වසරක පමණ කාලයක සිට නොයෙකුත් අසත්‍ය ප්‍රචාර කරන බවත් සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ තුවාලකරු ශ්වසන අපහසුතාවයෙන් පෙළීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ ප්‍රදීප් ගමගේ මහතා පැවැසුවේ දෙපිරිස අතර සුපිරි වෙළෙඳසලේදී ඇතිවූ ආරාවුලෙන් අනතුරුව සැකකරුවන් සිද්ධියවී පැයක් ඇතුළත කඩවත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදී ඉදිරි පරීක්ෂණවලට සහාය වීමක් වශයෙන් ඔවුන්ගේ ජංගම දුරකථන අංක පවා පොලිසියට ලබාදී අනතුරුව පොලිසිය කළ දැනුම්දීම මත කඩවත පොලිසිය වෙත 12 වැනිදා ඉදිරිපත් වූ බවයි. ප්‍රධාන සැකකාර සේවාදායකයා තම බිරිය සහ දරු දෙදෙනා සමඟ කඩවත පිහිටි සුපිරි වෙළෙඳසලට ගොස් සිටියදී තුවාලකරු සැකකරු දෙස තරහින් බලා සිට ඇති බවත් එසේ බලා සිටින්නේ වැරැදීමකින්ද යන්න ඇසූ අවස්ථාවේ වෙළෙඳසල තුළදී දෙපිරිස අතර කතාබහක් ඇතිවීමෙන් පසු නැවත රථ ගාලේදී දෙපිරිස අතර ආරාවුලක් ඇතිවූ බවයි. එහිදී දෙවැනි සැකකරු වන තම පුත්‍රයාට බිම පෙරළාගෙන පහර දෙමින් ඔහුගේ ඇඟ උඩ ඉඳගෙන පුතාගේ ගෙලද මිරිකා සිටි අවස්ථාවේ පුතුගේ ජීවිත ආරක්ෂාව පතා පළමු සැකකරු වාහනයේ තිබූ නියනක් ගෙන තුවාලකරුට ඇන ඇති බවයි.

පළමු සැකකරු තම පුතාගේ සිරුර මත සිටි තුවාලකරුට නියනෙන් ඇනීම නිසා හටගත් තුවාලය ඇත්තේ ඇලපැත්ත ප්‍රදේශයේ බවත් තුවාලකරු කායවර්ධන ශිල්පියකු හෙයින් ඔහු සමඟ පොර බැඳීමක් කළ නොහැකි නිසා තම පුතුව බේරා ගැනීම සඳහා මෙසේ වාහනය තුළ තිබූ නියනකින් තුවාලකරුට පහරදුන් බවට පළමු සැකකරු පිළිගන්නා බවත්ය. ඒ නිසා සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කරුණු ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියම කිරීමෙන් අනතුරුව කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පෙරුමාල් පද්මනාදන් මහතා කරුණු දක්වමින් පැවැසුවේ 09 වැනිදා රාත්‍රියේදී දෙපිරිස අතර වචන හුවමාරුවක් වෙළෙඳසල තුළදීත් එම වෙළෙඳසලේ රථ ගාලේදීත් සිදුව ඇති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා 10 වැනිදා සහ 11 වැනිදා ඔවුන්ගේ නිවෙස් වෙත ගියත් සැකකරුවන් නිවෙසේ නොසිටි හෙයින් පොලිසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීම මත 12 වැනිදා පොලිසියට පැමිණි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවැසීය.

සැකකාර නිවේදකයා සහ ඔහුගේ 24 හැවිරිදි පුත්‍රයා ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළ මහෙස්ත්‍රත්වරයා ඇප මත මුදා හැර සිටින සැකකාර නිවේදකයාගේ 17 හැවිරිදි පුත්‍රයාට එදිනම (18දා) මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.

සැකකරුවන් වෙනුවෙන් චන්දන රාජපක්ෂ, ප්‍රසන්න විමලරත්න, ලලිත් පියුම් පෙරේරා සමඟ ප්‍රදීප් ගමගේ යන නීතිඥවරු පෙනී සිටියහ. කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පෙරුමාල් පද්මනාදන් මහතා පැමිණිල්ල මෙහෙය විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon