මන්ත්‍රි උදය ගම්මන්පිලට විදේශ ගතවීමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවතට

  👤  3287 readers have read this article !
By mawbima 2018-06-14

කේ.එස්. උදයකුමාර්

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදා ගනිමින් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් විකුණා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයකට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා ලබා සිටින පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට විදේශගත වීම සඳහා පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (13දා) නියෝග කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු දක්වමින් විත්තිකරුගේ පුත්‍රයා ඕස්ට්‍රේලියාවේදී රිය අනතුරකට භාජන වී දැනට එරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දැනුම් දුන් අතර ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ගොස් සිය පුත්‍රයා බැලීම සඳහා විත්තිකරුට දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම මේ මස 19 වැනිදා සිට ජූලි මස 19 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.

මෙම ඉල්ලීමට රජයේ නීතිඥවරිය විරෝධය පළ කළේ නැත.

ඒ අනුව විත්තිකරු ඉල්ලා සිටින කාලසීමාව තුළ විත්තිකරුට විදේශ ගතවීම සඳහා අනුමැතිය දුන් මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා අධිකරණය භාරයේ පවතින විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon