යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා නඩු භාණ්ඩ ලේඛන හඳුනා ගනී

  👤  3562 readers have read this article !
By mawbima 2018-06-14

කේ.එස්. උදයකුමාර්

2002 වසරේ අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවස්නයක් වටලා රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව රැකගැනීමේ නිරතව සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන යුද රහස් හෙළිදරව් කළේ යැයි චෝදනා එල්ල කරමින් මහනුවර ප්‍රදේශය භාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩුව වසර 15කට පසුව ඊයේ (13දා) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ විය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ විභාගයට ගත් අතර එහිදී යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි සාමාජිකයකු වූ ප්‍රේමනාත් උදලාගම මහතාගෙන් මූලික සාක්ෂි සටහන් කර ගැනීම ඇරඹිණි. සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමා මෙම නඩුවට පාදක වන සිද්ධිය වූ කාලසීමාවේ මිලේනියම් සිටි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කළ බවයි. මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ වශයෙන් නම්කර තිබෙන ලේඛන කිහිපයක් පෙන්වා රජයේ නීතිඥවරයා විසින් සාක්ෂිකරුගෙන් විමසීම් කළ අතර එහිදී සාක්ෂිකරු එම ලේඛන හඳුනාගත්තේය.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 06 වැනිදා දක්වා කල් තැබිණි. 2002 වසරේ ජනවාරි මස 02 වැනිදා සහ එම වසරේ සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා කාලසීමාව තුළ අතුරුගිරිය 'මිලේනියම් සිටි' නිවාස සංකීර්ණය තුළ අතිශය රහසිගත ආකාරයෙන් පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවස්නයක් වටලා එහි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන බුද්ධි අංශ භාවිත කළ යුතු උපකරණ ඇතුළු ආම්පන්න ඡායාරූප ගත කිරීම හා වීඩියෝ ගත කර එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.මෙම නඩුව මුලින්ම මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අතර පසුව නීතිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව එය කොළඹ මහාධිකරණය වෙත මාරු කිරීමට තීන්දු කර තිබිණි. ඒ අනුව මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon