නිවුන් සොයුරියන් දූෂණය කළ කාමාතුරයා IMO දැලට අසුවෙයි

  👤  3538 readers have read this article !
By mawbima 2018-06-14

ගම්පොළ - මාධව බණ්ඩාර

මවුපියන් සමඟ අමනාප වී නාවලපිටියේ සිට කොළඹට පැමිණි රූමත් නිවුන් දැරියන් දෙදෙනා දූෂණය කොට වසරක් පුරා සොයා ගැනීමට නොහැකිව සිටි ප්‍රධාන සැකකරුට ඉමෝ තාක්ෂණයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ලෙස ආදරය කළ පොලිස් කාන්තාවන් දෙදෙනකු ඔහු පේරාදෙණිය ප්‍රදේශයට ගෙන්වා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනකු ලෙස පෙනී සිටි පොලිස් කාන්තාවන් වූ නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො. පරීක්ෂිකා ශ්‍යාමලී, කාන්තා පොලිස් කොස්තාපල් සමන්මලී (3660) යන දෙදෙනා ඉමෝ තාක්ෂණය ඔස්සේ මෙම සැකකරුට ආලය පෙන්නා මෙසේ උපායශීලීව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ගලහ මංසන්ධියට ගෙන්වා ගෙන තිබේ.

අදාළ උපායට අනුව ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය පළමුව ඔහුට ආදරය කරන තරුණිය සේ පෙනී සිට ඇති අතර ඇගේ විශ්වවිද්‍යාල යෙහෙළිය ලෙස පෙනී සිටි සමන්මලීද සිය යෙහෙළියට හොරා මොහුට ආදරය කරන බවත් දක්වා තිබේ.

කාන්තාවන්ට ලොල්ව මෙම සැකකරු එක ගමනින් ගොදුරු දෙකක් ගැනීමේ අරමුණින් මහනුවරට පැමිණ තිබේ.

නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචිකාරියන් වූ 15 හැවිරිදි වියේ පසු වූ නිවුන් දැරියන් දෙදෙනා නිවෙසේ අය සමඟ අමනාප වී කිසිවකුට නොදන්වා හොර රහසේ කොළඹට පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා පිටකොටුව බස් නැවතුම්පොළේ සිටියදී මෙම සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම දැරියන් දෙදෙනාට රැකියාවන් දෙන බව පවසා ලියගම ප්‍රදේශයට රැගෙන ගොස් බෝඩිම් කාමරයක තබාගෙන දූෂණයට ලක් කර ඇත.
මේ අතර දැරියන් දෙදෙනා අතුරුදන් බවට නාවලපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි මත පසුව ඔවුන් කොළඹ ප්‍රදේශයේ සිටියදී සොයා ගෙන උසාවි මාර්ගයෙන් පරිවාස ගත කරන ලදී.

මෙම සැකකරු පිළිබඳව දැරියන් නිසි තොරතුරක් නොදන්නා බව හෙළිවීම මත ලැබී තබූ සාමාන්‍ය තොරතුරු අනුව ඔහු සොයා පරීක්ෂණ සිදුකර තිබේ.

ඒ අතර ඉමෝ ඇමැතුම්වල ඔහු සිටින බව දැන මෙසේ ඔහු සමඟ මෙම පොලිස් කාන්තාවන් ආදර වදන් තෙපළා තිබේ.

සැකකරු ලියගම ඇඟලුම් කම්හලක සේවය කරන්නකු බව හෙළි වී ඇත. ඔහු ඊයේ (13දා) දින නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර, නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුජීව ද සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත කාන්තා උ.පො.ප. ශ්‍යාමලී, කාන්තා පො.කො. සමන්මලී, පො.කො. ජයසේකර (37426) යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon