අද ජාතික නායකයන් කියාගන්නා පිරිසට රටට නායකත්වය දෙන්න දැනුමක් නෑ

  👤  3507 readers have read this article !
By mawbima 2018-06-14

දඹුල්ල - කේ.කේ. ආරියදාස

රට ආරක්ෂා කර ගැනීම සඳහා බුද්ධිමතුන් උගතුන් ඇතුළු රටට ආදරය කරන ජනතාවගෙන් ජන පවුරක් කඩිනමින් සැකසිය යුතු බවත්, එසේ නොවන්නේ නම් හෙට දවසේ රට විශාල අනතුරකට මුහුණපාන බව සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහ නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියෝ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසූහ.
අධ්‍යාපනයක් නොමැති දේශපාලන අධිකාරිය නිසා රට විශාල වශයෙන් විනාශ මුඛයට ඇද වැටෙන බවත් දීර්ඝ කාලයක් දේශපාලනය පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකර සිටි නිසා බොහෝ ජනතාව තමන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසන නිසා මෙම මාධ්‍ය හමුව කැඳවූ බවත් රට අනතුරට පත්ව ඇති නිසා මෙම ප්‍රකාශය සිදුකරන බවත් සුමංගල හිමියෝ පැවැසූහ.

ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන අය සඳහා අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම සිදු කළ යුතු බවත් එසේම දේශපාලනඥයන් සඳහා වෙනම ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ආරම්භ කොට එහි ඉගෙන ගැනීමෙන් පසු ලැබෙන සහතිකයක් සමඟ දේශපාලනය කිරීම සඳහා නාම යෝජනා භාර ගැනීමේදී විශේෂ සැලකිල්ල දක්වා සිදු නොකළ හොත් රට බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.

උගතුන් බුද්ධිමතුන් දේශපාලනයට පැමිණිය යුතු බවත් අවම තරමේ සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නොමැති දේශපාලනඥයන් රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

ඇලෝසියස් හරියට සරදියෙල් කෙනකු මෙන් ක්‍රියා කළ බවත් සරදියෙල් ඇති හැකි අයගෙන් මුදල් ලබාගෙන නැති බැරි අයට ලබාදීම සිදු කළ නමුත් ඇලෝසියස් අහිංසක ජනතාවගේ මුදල් අරගෙන නැති බැරි දේශපාලනඥයන්ට බෙදාදීම සිදු කර තිබෙන බවත් උන්වහන්සේ පැවැසූහ.

වැඩිදුරටත් උන්වහන්සේ මෙසේද පැවසූහ.

පසුගිය කාලයේ කතාබහට ලක්වූ දින 100 වැඩපිළිවෙළ මෙරට අසාර්ථක වැඩපිළිවෙළක්. එය මීට වසර ගණනාවකට ඉහතදී ඇමෙරිකානු ජනාධිපතිවරයකු විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළක්.

ශ්‍රී ලංකාවේ ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසු මෙතෙක් ජාතික නායකයකු බිහිවෙලා නැහැ. මෙරට දැනට ජාතික නායකයන් ලෙස හඳුනාගෙන ඇත්තේ පක්ෂ නායකයන්. ඔවුන්ට ජාතික නායකත්වයක් රට ගැන නායකත්වයක් ලබාදීමට මනා දැනුමක් නැහැ.

වර්තමාන ජාතික නායකයන් දේශපාලනඥයන් කියා ගන්නා පිරිස් පක්ෂ නායකයන් පමණයි. ඔවුන් ඡන්ද දායකයන් හා තමන්ගේ මැතිවරණ ආසනය පමණක් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා පිරිසක්.

මෙරට දේශපාලනඥයන් විරුද්ධ පක්ෂයේ සිටියදී කෙසේ හෝ උත්සාහ කරනු ලබන්නේ පවතින ආණ්ඩුව පෙරළා දමා බලය ලබාගැනීම පමණයි. බලයේ සිටින නායකයන් යැයි කියා ගන්නා පිරිස සිදුකරනු ලබන්නේ බලය තහවුරු කරගැනීම සඳහා මන්ත්‍රිවරුන්ට විවිධ වරප්‍රසාද වරදාන තනතුරු ලබාදී බලය ආරක්ෂා කර ගැනීම සඳහා උත්සාහ ගැනීම.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon