යුද්ධයෙන් සියල්ල අහිමිවූ ජනතාව නඟා සිටුවීමට කර්නල් රත්නප්‍රිය කළ සේවයට ප්‍රණාමය පුදකළ යුතුයි

  👤  4128 readers have read this article !
By mawbima 2018-06-14

ලක්‍ෂ්මී ජයකොඩි

කර්නල් බන්දු මහතාගේ සමුගැනීම උතුරේ වැසියන්ට මහත් වේදනාවක් ගෙනදී තිබීම සැබැවින්ම ඓතිහාසික වන අතරම එය විවිධ මානයන් ඔස්සේ කතිකාවත් ගොඩනැඟීමට සමත්ව තිබේ යැයි විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් ලිපියකින් කියා සිටියේය. හෙතෙම ලිපිය නිකුත් කරමින් මෙසේද කියා තිබේ.

කර්නල් බන්දු මහතා උතුරේ වැසියන්ගෙන් සමුගැනීමේ ඡායාරූප දුටු පළමු මොහොතේ මාගේ නෙතටත් නිතැතින්ම කඳුළක් නැඟිණි. එය මා හට වඩාත් දැනෙන්නට ඇත්තේ බන්දු මහතා මාගේ සහෝදර සහෝදරියන්ව ආදරයෙන් රැක බලා ගත්ත නිසා වීමට පුළුවනි.
සැබැවින්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා වෙත ප්‍රණාමය පුද කළ යුතුමය. ඒ තිස් වසරක යුද්ධයෙන් සියල්ල අහිමි කරගත් ප්‍රජාවක් නඟාසිටුවීම වෙනුවෙන් කළ සේවය වෙනුවෙනි.

සැබැවින්ම බන්දු මහතා කළේ කුමක්ද විමසා බැලීමි. ඒ මහතා යුද්ධයෙන් පසුව හමුදා භාරයට පත් එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම භාරගෙන ඇත. එය ඉතා භාරධූර කාර්යයක් බව පැවැසිය යුතුමය. ඔවුන් සමාජ ගත කරන විට එහි වගකීම ගත යුතුමය. මන්ද යත් නැවත වරක් ඔවුන්ගේ සිත් ප්‍රචණ්ඩත්වය වැලඳ ගතහොත් එය තවත් මහා විනාශයක ආරම්භය විය හැකි නිසාය.

ඒ අනුව සමාජගත කරනු ලැබූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් එම ව්‍යාපාරවලට අනුගත කිරීම හේතුවෙන් එය ඔවුන්ට නැවත ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තුවක් ලබාදී තිබේ.

තත්ත්වය මෙසේ තිබියදී උතුරේ රැඳී සිටින හමුදාවට උතුරේ වැසියන් මෙපමණ ආදරය කරන්නේ නම් මහ ජාතිවාදී උතුරේ දකුණේ දෙමළ නායකයන් සිවිල් සංවිධාන උතුරෙන් හමුදාව ඉවත් විය යුතු යැයි කෑමොර දෙන්නේ මන්දැයි ඔබ පෙරළා මගෙන් ප්‍රශ්න කරනු ඇත. ඇත්තය. විග්නේශ්වරන්ලා, සම්පන්දන්ලා, සිවාජිලිංගම්ලා හැමදාමත් කෑමොර දෙන්නේ උතුරට මෙවන් සේවාවක් ඉටු කරමින් සිටින හමුදාව උතුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසය.

ඔවුන් හමුදා විරෝධතාව දක්වන හේතු මෙසේය. යුද්ධය අවසන් වන මොහොතේ ආරක්‍ෂක අංශ විසින් උතුර - නැඟෙනහිර පළාත්වල අත්කර ගෙන තිබූ පෞද්ගලික ඉඩම් ප්‍රමාණය අක්කර 30,000කට ආසන්නය. තමන්ගේ දැඩි අරගලය හමුවේ මේ වනවිට ටිකෙන් ටික හමුදාව තමන්ගේ ඉඩම් නිදහස් කරමින් තිබේ. තවමත් ඉතා ඵලදායී වටිනා ඉඩම් රැසක් හමුදාව සතුය. එම ඉඩම් තම ජනතාව වෙත වහා නිදහස් කළ යුතුය. උතුර - නැඟෙනහිර පළාත්වල හැර විශේෂයෙන් උතුර හැර අනෙකුත් ප්‍රදේශවල යම් සිදුවීමකදී ක්‍රියාත්මක වන්නේ පොලිසියය. නමුත් උතුරේ එය හාත්පසින් වෙනස්ය. පොලිසිය තරමට හමුදාව ක්‍රියාත්මකය. උදාහරණයක් ලෙස දකුණේ ඇති වන කලහාකාරී සිද්ධියකදී පොලිසිය යොදවා තිබීමටත් ඒ වෙනුවට හමුදාව කැඳවා ඇති අවස්ථාවකත් ඔබ මානසිකත්වය පවතින්නේ කෙසේද? එවැනි මානසිකත්වයක මේ වනවිට වසර 40ක පමණ කාලයක් ජීවත් වන ජනතාවගේ මානසිකත්වය කෙසේ වනු ඇද්ද? ඔවුන්ට අවශ්‍ය නිදහස් ජීවිතයකි. සාමාන්‍ය මානසිකත්වයකි. අප ඉල්ලා සිටින්නේ ඒ නිදහසයි. ත්‍රස්තවාදය මුළුමනින්ම උපුටා දැම්මේ යැයි කියන්නේ නම් තවදුරටත් මෙපමණ හමුදාවක් උතුරේ රඳවා තබන්නේ මන්ද? ඉතා දියුණු තාක්‍ෂණයක්, දක්‍ෂ හමුදා බුද්ධි අංශයක් පවතින වර්තමානයේ උතුරේ හමුදාව සීමා කරමින් සිය සේවාවන් ඉටු කළ නොහැකිද?

තවද හමුදාව විසින් උතුරේ හමුදාකරණය සාධාරණීයකරණය කිරීම වෙනුවෙන් උතුරේ තරුණ තරුණියන් තමන් වෙත අෑ¼දෑ ගැනීමට ඉතා සූක්‍ෂ්ම උපාය මාර්ග ක්‍රියාත්මක කර තිබේ. ඒවා නම් උතුරේ සියලු ඵලදායී වාණිජ අවස්ථා හමුදාව මඟින් මෙහෙය වීමයි. ඒවාට උතුරේ තරුණ තරුණියන් සේවයට බඳවා ගෙන තිබේ. එමඟින් ඔවුන් හමුදා අණසකට නතු කර ගෙන ඇත. යුද්ධයෙන් පසුව උතුරේ ආර්ථිකය පැවැතියේ බින්දුවේය. සියලු ජනතාව තම ජීවනෝපාය මාර්ග අහිමි කරගෙන සිටියෝය. ඔවුන්ට වුවමනා වූයේ කෙසේ හෝ නැවතත් ජීවිත නඟාසිටුවා ගැනීමය. නමුත් ඒ වෙනුවට සිදු වූයේ තම භූමියේ අනාථයන් බවට පත්වීමය. තම භූමියේම තවකෙකු යටතේ සේවය කිරීමටය. අද අපගේ ධීවරයන්ට ධීවර කටයුතු කිරීමට නිදහසක් නැත. ධීවර කටයුතුවලද හමුදාව නියැළෙයි. එසේම ඉතා සරුසාර අපගේ ඉඩම්වල වගා කටයුතු කරන්නේ හමුදාවය.

යුද්ධයේ අවසන් වකවානුවේදී අප විසින් අපගේ දුවා දරුවන්, ස්වාමිපුරුෂයෝ, ඥාතීන් රැසක් හමුදාවට භාර දුන්නෙමු. එහෙත් එයින් පිරිසක් අතුරුදන්ව තිබේ. ඔවුන්ට සිදු වූයේ කුමක්ද? තවමත් දන්නේ නැත. ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි අප දැනගත යුතුය. මන්ද ඔවුන් වෙනුවෙන් අපි දින දින මැරෙමින් සිටිමු. හමුදාව හා අපට පෞද්ගලික තරහක් නොමැත්තේය. අප ඉල්ලන්නේ අපගේ නිදහස හා යුක්තියයි.

මේ උතුරේ ජාතිවාදීන් යැයි හඳුන්වන දෙමළ දේශපාලන නායකයන් නඟන චෝදනාය. එම චෝදනා සාධාරණද අසාධාරණදැයි තීරණය කිරීම ඔබ සතුය.

නමුත් ඊට පෙර අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තිබේ. කාලයක් පුරාවට පැවැති යුද්ධයකින් පසුව එයින් පීඩාවට පත් ජනතාව පුනරුත්ථාපනය කිරීම, නඟාසිටුවීම ආරක්‍ෂා කිරීම එරට රජය, ආණ්ඩුව සතු වගකීමය. ඒ වෙනුවෙන් වෙනත් රාජ්‍යයක් පෙනී සිටින්නේ නැත. එබැවින් ශ්‍රී ලංකා රජය එය ඉටු කරමින් සිටී. එය අගය කළ යුත්තකි. එහෙත් උතුරේ ජනතාවගේ දැඩි විරෝධය මත හමුදාව උතුරේ රඳවා සිටී. එය කවර සාධාරණ හේතු මතදැයි ආණ්ඩුව හෝ රජය තවමත් ජනතාව වෙත හෝ නායකයන් වෙත මෙතෙක් නිශ්චිත පැහැදිලි කිරීමක් කර නැත.

අවසානයේ තවමත් උතුරේ ජනතාවට අදත් ජීවත්වීමට සිදුව ඇත්තේ හමුදා භීතියෙනි. යළිත් ඇතැමකු ලියුම්කරුට පෙර ප්‍රශ්නයෙන්ම දමා ගසනු ඇත. ඒ උතුරේ ජනතාව හමුදාවට මෙතරම් ඇලුම් කරන්නේ නොවේද යන්නෙනි. සැබෑවය, එහෙත් ඔවුන් හමුදා ආරක්‍ෂාව යටතේ ජීවත්වීමට කැමැති බව එයින් ඉල්ලා නොසිටී. තම භූමියේම වහලුන් සේ ජීවත්වීම ඔවුන් ඉල්ලා නොසිටී.

මෙම ලිපිය මඟින් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගේ සේවය කිසිසේත් අවතක්සේරු නොකරයි. එහෙත් අවශ්‍ය වන්නේ සෙනෙහස මුහුණෙන් පෙන්වීමට වඩා හදවතින්ම පෙන්වීමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ උතුරේ ජනතාවටත් රටේ අනෙකුත් ජනතාව හා සමානව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර දීමයි. යුද්ධයට හේතු වූයේ අසමානත්මතාවයි. ඔවුන්ට කිසිදු ආත්ම ගෞරවයක් නොලැබීමයි. ආණ්ඩුවක්, රජයක් කළ යුත්තේ මෙම හේතුවලට පිළිතුරු ලබාදීමයි. එය කළ හැක්කේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මතය. මන්ද නීතිය හමුවේ සියල්ලෝ සමානව සලකන බැවිනි. එසේ වුවහොත් යළිත් අප අතරේම යළිත් කුළල් කාගැනීම, යුද්ධ ඇති නොවනු ඇත. තවත් පිරිසක් යළිත් වරක් ත්‍රස්තයන් පිරිසක් පුනරුත්ථාපනය කිරීමට ඉඩප්‍රස්තාවක් උදා නොවනු ඇත. සැබැවින්ම එදිනට අපගේ රටේ කවරකු නායකයකු වේවා ඔහු හෝ ඇය ශක්තිමත් ශ්‍රී ලංකාවක උතුරේ වැසියන්ගේද සිත් දිනාගත් විජයග්‍රාහී නායකයා වනු ඇත.

'අවි රහිත' රාජකාරි සංකල්පයක් තමා විසින්ම සාදාගෙන, වසර 6කට ආසන්න කාලයක් රත්නප්‍රිය බන්දු කිලිනොච්චියේ සේවය කළේය. යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු සිවිල් ආරක්‍ෂක බළකායේ 'සීඕ' බන්දුය. විශ්වමඩු හා කිලිනොච්චි මිනිසුන් කියන කතා ඇදහිය නොහැකිය. අම්මලාට - පියවරුන්ට ඔහු තමාගේ දරුවෙකි. ආබාධිත එල්.ටී.ටී.ඊ. සෙබළ සෙබළියන්ට ඔහු සහෝදරයෙකි.

මිනිසුන්ගේ ආදරය ලැබීම තරම් සුන්දර වූ දෙයක් මිහිමත තවත් නැත. විශේෂ බළකායේ සෙනෙවියකුට, සිවිල් ආරක්‍ෂක බළකායේ 'නන්දිමිත්‍ර බළ ඇණියේ නිර්මාතෘවරයාට එල්.ටී.ටී.ඊ. හදවතවන් විශ්වමඩුහි මිනිසුන්ගෙන් මෙවැනි ආදරයක් ලැබීම බොහෝ මිනිසුන්ට තේරෙන්නේ නැත. මිනිසුන් සංහිඳියාව නමින් ඉල්ලන්නේ යුක්තිය, සාධාරණත්වය. එය ලබා දෙන්නේ කවුද? මිනිසුන්ගේ හදවත්හි ඒ මිනිසා සදාකාලිකවම ජීවත් වන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon