අපි මේ ඇමැතිකම් ගත්තේ වෙලාවට කන්න නිදා ගන්න නොවෙයි

  👤  3409 readers have read this article !
By mawbima 2018-06-14

මත්තල - ඩී.එන්. ජයසේකර

යහපාලන රජය ආරම්භ කරපු උදාගම්මාන වැඩ සටහනේ 76 වැනි උදාගම්මානය තමයි අද මේ ජනතා අයිතියට පත් වෙන්නේ. අපි මේ උදාගම්මාන වැඩසටහන ආරම්භ කරනකොට විවිධ අය විවිධ කතා කිව්වා. මේ කරන්නේ ජනතාව රැවටීමක් කිව්වා. හැබැයි අද වෙනකොට අපිව විවේචනය කළ අයටත් කර කියා ගන්න දෙයක් නැති වෙලා තියෙනවා. මේ වනවිට අපි සතියකට උදාගම්මාන තුන බැගින් ජනතා අයිතියට පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදා වෙනකොට ඒ කියන්නේ ජනාධිපතිවරණය ක්‍රියාත්මක වෙන කාලය වෙනකොට මේ රටේ උදාගම්මාන 2500ක් ආරම්භ කිරීම අපේ එකම අරමුණ යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගිය දින (05දා) හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ඉදිවූ 76 වැනි උදාගම්මානය වන "සඵලගම" උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
මේ වනවිට ලංකාව පුරා උදාගම්මාන 754ක් හදාගෙන යනවා. තව උදාගම්මාන 1746ක වැඩ පටන් ගන්න තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට අපේ ඉලක්ක වෙත යන්න තියෙන දින ගණන බැලුවොත් අපිට තියෙන්නේ ඉතා සීමිත වූ දින ගණනක් විතරයි. මේ වසරේ ඉතිරි දින ටිකයි ලබන වසරේ දින ටිකයි ඔක්කොම බැලුවම අපිට ඉතිරි වෙලා තියෙන්නේ දින 574ක් වගේ කාලයක් විතරයි. දැන් මේ දින 574න් මම ආරම්භ කරන්නට ඕනේ තව උදාගම්මාන 1746ක්. හරියට ගණන් හදලා බැලුවොත් දවසකට උදාගම්මාන තුන බැගින් පටන් ගන්න ඕනේ. ඉතින් විවිධ පුද්ගලයෝ කියනවා මේක කරයිද. මේ අයට මේක කරන්න පුළුවන්ද. ඇතැම් පිරිස් මේ වැඩසටහන තදබල ලෙස විවේචනය කරනවා. ඉතින් කවුරු මොනවා කිව්වත් මේ සජිත් ප්‍රේමදාස ජනතාවට පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දුව නම් කඩ කරන්නේ නෑ කියන එක කියන්න ඕනේ. අද මේ සඵලගම ඉඳන් මං මේ ජනතාවට පොරොන්දුවක් දෙනවා. ඒ තමයි බෙල්ල ගහලා ගියත් ලබන අවුරුද්ද අවසන් වෙන විට මේ උදාගම්මාන 2500ම වැඩ පටන් ගන්නවාය කියන පොරොන්දුව මං මේ අයට අද දෙනවා.

අද මේ ගම්මානය ජනතා අයිතියට පත් වෙනකොට නිවාස ලාභීන් 29 දෙනකුට ඉඩම් අයිතිය වගේම නිවෙසක අයිතියත් හිමිවෙනවා. පවුල් 200කට රුපියල් ලක්ෂ 200ක නිවාස ණය ලබා දෙනවා. ශිල්ප සවිය පුහුණු ලාභීන් 100 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා උපකරණ කට්ටල ලබා දෙනවා. දෘෂ්ටි ආබාධ සහිත වූවන් 200 දෙනකු සඳහා ඇස් කණ්ණාඩි ලබාදීම සිදුකෙරෙනවා. මේ තමයි උදාගම්මානයත් සමඟ ජනතාවට ලැබෙන වරප්‍රසාද. ඒ විතරක් නෙවෙයි මේ අවුරුද්ද අවසන් වීමට පෙර තවත් උදාගම්මාන 150ක් මේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරනවා. දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් උදාගම්මාන 143ක් හදාගෙන යනවා. ඉතින් මේ සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම දිලිප් වෙදආරච්චි මහත්තයාටත් මතක් කරලා තියෙනවා. මේ උදාගම්මාන 2500ක් ඉදිකිරීම කැබිනට් අනුමැතිය පවා හිමිවුණු ව්‍යාපෘතියක්. මේ වෙලාවේ මං අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්තුමාටත් මතක් කරනවා මේ අම්බලන්තොට උදාගම්මාන හැදිලා තියෙන්නේ ඉතා අඩුවෙන්. ඒක මගේ වරදක් නෙවෙයි. මට ඉඩමක් ලැබුණේ කොහෙද මං එතැන උදාගම්මානයක් ඉදි කරනවා. මගේ දැනුමේ හැටියට අම්බලන්තොට කොට්ඨාසයේම තවම හැදෙන්නේ උදාගම්මාන තුනයි. ඒක මගේ වරදක් නෙවෙයි. ඉඩම් නිසි පරිදි පවරා දීම සිදුකරන විට නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම මට කරන්න පුළුවන්. ඒ සඳහා කාගෙත් සහාය මට ඕනේ.

මම මේ විදියට මේ නිවාස හදමින් උදාගම්මාන ඇති කරමින් යන්නේ මේ රටේ නිවෙසක් නොමැති ජනතාව වෙනුවෙනුයි. මගේ අමාත්‍යාංශයේ මේ වනවිට නිතර නිතර ප්‍රගති සමාලෝචන රැස්වීම් තියමින් මේ කටයුතු ඉදිරියට ගෙන යන්න ඕන කටයුතු හා උපදෙස් මා මගේ නිලධාරීන්ට ලබා දෙනවා. සමහර නිලධාරීන්ට නම් දැන් එපා වෙලත් ඇති. මාවත් එපා වෙලා ඇති. නමුත් කරන්න දෙයක් නෑ. මොකද ජනතාව අපිට වරමක් දුන්නා වැඩ කරන්න කියලා. ඉතින් දැන් අපි ජනතාව වෙනුවෙන් මේ සේවාව කරන්න වෙනවා. අපි මේ වැඩත් එක්ක වෙලාවට කන්නේ නෑ. වෙලාවට නිදා ගන්න වෙන්නේ නෑ. එහෙම ඕන අයත් ඇති. නමුත් වෙලාවට කන්න, නිදාගන්න නම් නෙවෙයි අපි මේ ඇමැතිකම් ගත්තේ. මම මේ ඇමැතිකම භාරගත්තේ සමාජ වගකීම ඉටු කිරීමටයි. වැඩක් කරන්න පුළුවන් හැම වෙලාවකම මම මේ ජනතාව වෙනුවෙන් වැඩ කළා. අපි මේ සෑම වැඩක්ම කරන්නේ නිවැරැදි දැක්මකින් යුතුවයි. පිරිසුදු චේතනාවකින් යුතුවයි. මේ සජිත් ප්‍රේමදාස වැඩ කරන්නේ ඇති හැකි අයට නොව නැති බැරි අහිංසක මිනිස්සු වෙනුවෙන්ය කියන එක මේ මොහොතේ කියන්න කැමැතියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon