හුංගම නගරය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස හා වෙළෙඳසල් අසූවකට අධික සංඛ්‍යාවකට බරපතළ හානි

  👤  3286 readers have read this article !
By mawbima 2018-06-14

තංගල්ල - සහම්පති මානගේ, හුංගම - ටෙනිසන්, හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හුංගම නගරය හරහා ඊයේ (13දා) අලුයම හමාගිය තද සුළඟකින් නගරයේ වෙළෙඳසල් හා නිවාස විශාල සංඛ්‍යාවකට බරපතළ හානි සිදුව තිබේ.

අලුයම 3.00ට පමණ හදිසියේ හමාගිය තද සුළඟ විනාඩි කිහිපයක් පමණක් පැවති බව ප්‍රදේශවාසීහු පවසති. සුළං තත්ත්වය හේතුවෙන් හුංගම නගරයේ වෙළෙඳසල් පනහක් පමණ හා නිවාස තිහකට අධික සංඛ්‍යාවකට දැඩි හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි.

බොහෝ නිවාස හා වෙළෙඳසල් මතට ගස් කඩා වැටී තිබූ අතර ඇස්බැස්ටෝස් ෂීට්, සෙවිලි තහඩු, උළු, කඩා වැටුණු ශාක කොටස් ආදිය මාර්ගය දෙපස දක්නට ලැබිණි.

අලුයම් කාලයේදී හුංගම නගරය හරහා ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද සුළු බාධා සිදුව තිබිණි. විදුලි රැහැන් මතට ගස් කඩා වැටී තිබීම නිසා ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු ඊයේ (13දා) උදෑසන කාලයේ සිට ඒවායේ අලුත්වැඩියා කටයුතු සිදු කළහ. විශාල ප්‍රමාණයේ ගස් කිහිපයක්ද සම්පූර්ණයෙන් ගැලවී වැටී තිබෙනු දක්නට හැකිවිය. සුළං තත්ත්වය හේතුවෙන් දේපළ විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබුණද කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

ආපදා කළමනාකරණ ඒකකයේ හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් විපතට පත්වූ ප්‍රදේශවාසීන්ට ආහාර ලබාදීම සිදුකෙරිණි. සිදුව ඇති දේපළ හානි පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon