චැසි අංක වාහන අංක සහ ලියාපදිංචි සහතික කූට ලෙස සකසා මූල්‍ය ආයතනවලින් ලීසිං පහසුකම් ලබා ගැනීමේ ජාවාරමක් මෙහෙය වූ අයෙක් දැලේ

  👤  3369 readers have read this article !
By mawbima 2018-06-14

අනුරාධපුර අධිකරණ - උපාලි ආනන්ද

කූට ලේඛන ඉදිරිපත් කරමින් සමාගමකින් රුපියල් 1,15,000ක් වංචනිකව ලබාගත් බවටත් සංවිධානාත්මකව මූල්‍ය සමාගම්වලින් වංචනික ලෙස ලීසිං පහසුකම් ලබා ගැනීමේ ජාවාරමක් මෙහෙයවන බවටත් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පුද්ගලයකු මේ මස 21 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය.

මේ සංවිධානාත්මක මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඊට සම්බන්ධ බවට සැක කෙරෙන සෙසු සැකකරුවන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරු වීරවර්ධන මහතා අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට නියෝග කරනු ලැබීය.

විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට තවදුරටත් නියෝග කරන ලදී.

මෙසේ රිමාන්ඩ් කළේ හබරණ ත්‍රිකුණාමලය පාර අංක 6 ලිපිනයේ නීල් ප්‍රසාද් නවරත්න නමැත්තෙකි.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය සඳහන් කෙළේ මේ සැකකරු වංචනිකව ඉතා සූක්ෂ්ම ආකාරයෙන් සැකසූ කූට ලේඛන ඉදිරිපත් කර සාමාගමෙන් රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් වංචනිකව ලබාගෙන ඇති බවයි.

එකම වාහනයේ අංකය, චැසි අංකය සහ ලියාපදිංචි සහතිකය වරින් වර වෙනස් කර එකම වාහනයට ලීසිං පහසුකම් රැසක් මොහු විවිධ මූල්‍ය සමාගම්වලින් ලබා ගෙන ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු හෙළිවිනැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සඳහන් කෙළේ ඕනෑම ලේඛනයක් සත්‍ය ලේඛන ලෙස හුවා දක්වමින් කූට අයුරින් මේ සැකකරු විසින් සකස් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ තත්ත්වයේදී අධිකරණයට ඉදිරිපත් කරන ඇතැම් ලේඛන පවා සත්‍ය ඒවා දැයි දැඩි විමසිල්ලෙන් පසුවීමට සිදුව ඇති බවද නීතිඥවරයා කීවේය. දඹුල්ල හබරණ, අනුරාධපුර සහ පොළොන්නරුව ආදී ප්‍රදේශවල මේ ජාවාරම ක්‍රියාත්මක වන බවටද මූලික විමර්ශනවලදී තොරතුරු හෙළිව තිබේ. මේ අතර මේ සැකකරු විවිධ බැංකුවලින් ඒ.ටී.එම්. කාඩ්පත් ලබා ගෙන ඇත්තේ එකිනෙකට වෙනස් ජාතික හැඳුනුම්පත් අංක ලබා දීමෙන් බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පෙනී සිටි අතර පැමිණිලිකාර සමාගම වෙනුවෙන් එම සමාගමේ නීති නිලධාරි නීතිඥ චම්පික චිත්‍රාත් සිරිසේන සහ නීතිඥ අනුරුද්ධ විජේරත්න යන මහත්වරු පෙනී සිටියහ. සැකකරු වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ ජේ.එම්. කොස්වත්ත මහත්මිය සමඟ නීතිඥ ගැමුණු දිසානායක මහතා පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon