හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට එරෙහි සාක්කි අනාවරණය වුවහොත් අත්අඩංගුවට ගන්නවා

  👤  3425 readers have read this article !
By mawbima 2018-06-14

කාවින්ධ්‍යා පෙරේරා

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්කි අනාවරණය වුවහොත් ශේ්‍රෂ්ඨාධිකරණය දැනුවත් කර ඔහුව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නා බව රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙරේදා(12දා) ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා හමුවේ සඳහන් කර සිටියේය.

මෙම සිද්ධියට අදාළව සැකකාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා විසින් කරනු ලැබූ ඇප ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා එලෙස සඳහන් කර සිටියේය.

මෙහිදී රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතා තවදුරටත් සඳහන් කර සිටියේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ එම පෙත්සම් විභාගයට ගනු ලැබූ දිනට ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්කි නොතිබීම හේතුවෙන් බවත් නමුත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්කි අනාවරණය වුවහොත් ශේ‍ර්ෂ්ඨාධිකරණය දැනුවත් කර ඔහුව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නා බවය.

මෙම සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්ස සුගතදාස මහතා සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතා සමඟින් සමූහ මිනීමැරුම් හා මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටි අතර නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

තවදුරටත් කරුණු සඳහන් කර සිටි රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා විය හැකියි යන්න මත ඇප ලබා දීමට විරුද්ධ වන බවයි.

එසේම මෙම නඩුවේ දෙවැනි සැකකරු වන ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්ස සුගතදාස විසින් ලබා දෙනු ලැබූ රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් හෝ ඔහු රජයේ සාක්කිකරුවකු බවට පත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ද ඒ මහතා අධිකරණයට දන්වා සිටියේය.

තව ද මෙම සිද්ධිය කණ්ඩායම් කිහිපයක් එකතුව සිදු කරනු ලැබූ ක්‍රියාවක් බවත් මෙම තුන්වන සැකකරු වන නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මෙම ක්‍රියාවේ ප්‍රධාන කුමන්ත්‍රණයේ කොටස්කරුවකු විය හැකිය යන්න පදනමේ සිටිමින් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවද ඇප ලබා දුනහොත් සාක්කිවලට බාධාවක් විය හැකි බැවින් ඇප ලබා දීමට විරුද්ධ වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා සාක්කි වසන් කිරීමක් සිදු කර නොමැති බවත් විමර්ශන නිසි ආකාරයෙන් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් අල්ලස් චෝදනා, මිනීමැරුම් චෝදනා ඇති දෙවැනි සැකකරුගේ සාක්කි මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ කරුණු සැලකිල්ලට ගත් දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරසූරිය මහතා තම සේවාදායකයා සම්බන්ධයෙන් තමාට කරුණු දැක්වීමට අවශ්‍ය බව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන් සම්බන්ධයෙන් වන ඇප නියෝගය ලබන ජුනි 19 වැනිදා ප්‍රකාශ කරන බවයි. ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන ජුනි 19 වැනිදා තෙක් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon