සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හය දෙනාට ඇප

  👤  3545 readers have read this article !
By mawbima 2018-06-14

කේ.එස්. උදයකුමාර්

ඉකුත් ජනාධිපතිවරණය සමයේ රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනි ලෙස ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් රුපියල් 1,090,000/-ක (දස ලක්ෂ අනූ දහසක) මුදලක් වැය කර දිනපොත් මුද්‍රණය කිරීම් තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය පෙරේදා (12දා) නියෝග කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ භාරදෙන ලදී. ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවකුට රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව පරිගණක සාක්ෂි මෙහෙයවීමට අපේක්ෂා කරන අතර ඒ බව දැනුම් දීමේ නොතීසිය විත්ති පාර්ශ්වය වෙත ලබා දෙන බවද අධිකරණයට දැන්වීය.

අනතුරුව නඩුව ජූලි මස 23 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා එදිනට නඩුව විභාග කරන දිනය නියම කරන බවද දැනුම් දුන්නේය.

ඉකුත් 2014 වසරේ දෙසැම්බර් මස 08 වැනිදා සහ 2015 වසරේ ජනවාරි මස 07 වැනිදා දක්වා කාලසීමාව තුළ රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් රුපියල් 1,090,000 ක මුදලක් වැය කර දිනපොත් මුද්‍රණය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

ඉකුත් රජය විසින් සිදුකළ බව කියන බරපතළ වංචා
පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශවලට අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon