රිචඩ් හැඩ්ලිටත් පිළිකාවක්

  👤  3439 readers have read this article !
By mawbima 2018-06-14

නවසීලන්ත හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රී මත් රිචඩ් හැඩ්ලි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී මත් රිචඩ් හැඩ්ලිගේ බිරිය වන ඩැනී හැඩ්ලි මහත්මියගේ ප්‍රකාශයක් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු එම පිළිකාව ඉවත් කිරීමේ සැත්කමකට ද භාජන වී ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඩැනී හැඩ්ලි මහත්මිය "වසර තුනක සිට පුරුද්දක් වශයෙන් ඔහුව වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කරනු ලැබුවා. පසුගිය මාසයේ සිදු කරනු ලැබූ පරීක්ෂණයෙන් අනතුරුව අනාවරණය වුණා ඔහුගේ මහාන්ත්‍රය ආශ්‍රිතව පිළිකාවක් තියෙනවා කියලා." ඒ අනුව එම පිළිකාව ඉවත් කිරීම සදහා සාර්ථක සැත්කමක් සිදු කරන ලද අතර මේ වන විට ඔහු ක්‍රමයෙන් සුවය ලබමින් සිටී. කෙසේ වෙතත් ඔහුගේ ආරක්ෂාව සඳහා රසායනික චිකිත්සක ක්‍රමයක් ද ආරම්භ කිරීමට නියමිතව ඇති අතර කාලයාගේ ඇවෑමෙන් ඔහු සම්පූර්ණ සුවය ලබනු ඇතැයි ද ඇය විශ්වාසය පළ කර තිබේ.

මේ වන විට 66 වැනි වියේ පසුවන ශ්‍රී මත් රිචඩ් හැඩ්ලි නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් හැඳින්වෙන අතර ලෝකයේ බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ද හැඳින්වෙයි. 80 දශකයේදී නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 86කට ක්‍රීඩා කර ඇති රිචඩ් හැඩ්ලි, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන සමය වන විට ටෙස්ට් කඩුලු 431ක් දවාගනිමින් එවකට වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් ක්‍රීඩකයා වශයෙන් ද ලෝක වාර්තාවට හිමිකම් කියා ඇත. තවද ටෙස්ට් ලකුණු 3124ක් ලබාගෙන ඇති ඔහු ලකුණු 27.16ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට ද සමත් වී තිබේ. මේ අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 115කදී නවසීලන්තය නියෝජනය කර ඇති රිචඩ් හැඩ්ලි එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 158කි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon