ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් තීරණාත්මක දෙවැනි තරගය අද

  👤  3557 readers have read this article !
By mawbima 2018-06-14

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (14දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ශා. ලුසියාහි ඩැරන් සැමි ජාතික ක්‍රිකට් පිටියේදී ආරම්භ වීමට නියමිතය.

කොදෙව් දූපත්වලදී මෙයට පෙර ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර එම සිහිනය සැබෑ කර ගැනීමේ පළමු මෙහෙයුම පසුගියදා පරාජය වුවද අදින් ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගය හා 23 දා ආරම්භ වන අවසන් ටෙස්ට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් එම අභිප්‍රාය ඉටු කරගැනීමට හැකි වනු ඇත.

කෙසේ වුවත් පෞද්ගලික හේතුවක් මත ඇන්ජිලෝ මැතිව්ස් හා ආබාධයක් හේතුවෙන් ලංකාවට පැමිණි ළහිරු ගමගේ යන දෙදෙනා වෙනුවට දසුන් ශානක හා ධනුෂ්ක ගුණතිලක ඊයේ (13දා) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබිණි.

මේ අතර ඩැරන් සැමි ක්‍රීඩා පිටිය වේගපන්දු යවන්නන්ට හා දඟ පන්දු යවන්නන්ට සම වාසි ගෙන දෙන පිටියක් බැවින් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වේගපන්දු යවන්නන් දෙදෙනකු එක් කරගනිමින් ජෙෆ්රි වැන්ඩර්සේ හෝ අකිල ධනංජය යොදාගැනීමට ඉඩ ඇතැයි පැවැසේ.

තවද පළමු තරගයේදී අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් අද තරගයේදී එක් ස්ථානයක් පසුපසට යෑමට නියමිතව ඇති අතර, අංක තුන ස්ථානයට ධනංජය ද සිල්වා ක්‍රීඩා කරනු ඇති බවද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේදී කොදෙව්වන් සමඟ එක් ටෙස්ට් තරගයකට සහභාගි වී එම තරගය විසඳුමකින් තොරව නිමාවට පත්කරගෙන ඇති අතර, කොදෙව්වන් මෙම ක්‍රීඩාපිටියේදී තරග පහකට සහභාගි වී තරග තුනක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව තිබීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම -
දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, අකිල ධනංජය, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, කසුන් රාජිත, මහේල උඩවත්ත, ජෙෆ්රි වැන්ඩර්සේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon