UNP එක්ක වැඩිම ඩීල් එක තියෙන්නේ පොහොට්ටුවට

  👤  3363 readers have read this article !
By mawbima 2018-01-21

පළාත් පාලන ඡන්දෙදි කළුතර දිස්ත්‍රික්කය මෙවර නලින්ද ජයතිස්සට අභියෝගයක් නේද?

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් තියෙනවා. නගර සභා 4ක් සහ ප්‍රාදේශීය සභා 13ක් තියෙනවා. අපි ඒ සියල්ලට ගැටලුවකින් තොරව නාම යෝජනා දුන්නා. පොහොට්ටුව 2ක් ප්‍රතික්ෂේප වුණා. බේරුවල නගර සභාවට තරග කරන්නෙත් නෑ ඔවුන්. අභියෝගය අපිට නොවේ රටේ ජනතාවට. දූෂිත එජාපයෙන්, ශ්‍රී ලනිපයෙන් පොහොට්ටුවෙන් බේරීම තමයි ජනතාවගේ අභියෝගය. අන්ත දූෂිත රැළක්ම කළුතර දිස්ත්‍රික්කයෙත් ඉන්නවා.

පන්දහස් ගණනට තිබුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ධුර අටදහස් ගණනකට වැඩිවෙද්දි ඒ බර ජනතාවට පැටවෙද්දි ජවිපෙ සද්ද නෑ
අපි මේ ගැන අදහස් ඉදිරිපත් කළා. අවුරුදු 3ක් පළාත් පාලන ඡන්දය කල් ගියේ බැසිල් රාජපක්ෂගේ විකෘති කොට්ඨාස ක්‍රමය හින්දා. සාමාන්‍ය මැතිවරණ ක්‍රමයක් සකස් විය යුත්තේ කලින් මැතිවරණ ක්‍රමය සකස් කරලා ඒ මත කොට්ඨාස බිහි කිරීමෙන්. මේක තිබුණෙ අනෙක් පැත්තෙ. කොහොම වුණත් මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට වැටුප් ගෙවන්න නොවේ, වැඩි මුදලක් වියදම් වෙන්නේ පරිපාලන කටයුතුවලට යොදවන මුදල් ගසා කෑම්වලින් තමයි ජනතා මුදල් නාස්ති වෙන්නේ. ජනතාවට කියන්නේ දූෂණයෙන් තොර මන්ත්‍රිවරුන්ගෙන් පළාත් පාලන ආයතන පුරවන්න කියලා. ඒ වගේම අපි පත් වන මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලනවා තමන්ගේ වැටුපෙන් කොටසක් හෝ ඒ වැඩිවන ඉඩකඩ හදන්න ඩෙස්, පුටු දෙන්න කටයුතු කරන්න කියලා.

ගමේ බලය ඉල්ලන ගමන් ජවිපෙ 2020 පුළුල් බලවේගයක් ගැන කතා කරනවා. නමුත් මේක පළාත් පාලන මැතිවරණයක්.
අද ප්‍රධාන පක්ෂ දෙකේ දූෂිත ක්‍රියාකාරකම් නිසා ජනතාවට දේශපාලනය එපා වෙලා. එහෙම නැතිව ජවිපෙ දිහා බලලා නොවේ. මේ දේශපාලනය දූෂිතයි, මජරයි කියලා එය ඉවතට දමා ජීවත් වෙන්න ඔවුන්ට බෑ. වතුර මඩ වුණා කියලා දරුවත් එක්ක බේසම විසිකරලා හරියන්නෙ නෑ. අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රවල ජවිපෙ නොවන හොඳ පිරිසක් අප වටා එකතු වී සිටිනවා. ඒ පිරිස එක්ක 2020 පුළුල් බලවේගයක් ගොඩනඟන්න අපි සූදානම්. එහි සුහුඹුල් සලකුණ මේ මැතිවරණයෙන් පෙන්නනවා.

ඔහොම කිව්වට ජවිපෙ ගැන ජනතාව විශ්වාසය තියයිද?
ඔව්. මේ මැතිවරණයේදී අපි ප්‍රධාන පොරොන්දු 2ක් දෙනවා. එකක් ඔබ අපට ඒ ඒ කොට්ඨාසය හා ප්‍රාදේශීය සභාව භාර දුන්නොත් ඒවායේ දූෂණ නවත්වන බව. දෙක ඒ භාරදෙන කොට්ඨාසයත්, ප්‍රාදේශීය සභාවත් කාර්යක්ෂමව ගොඩනඟනවා කියන පොරොන්දුව. ජවිපෙට හැර දූෂණයට තිත තියන බවට කිසිදු පක්ෂයකට පොරොන්දු දෙන්න බෑ.

දූෂිතයි දූෂිතයි කියලා කිව්වට ජනතාවට පුරුදු ලකුණට කතිරය ගහන සම්ප්‍රදායක් නේද අදටත් පවතින්නේ?
නමුත් මේ මොහොත වෙද්දි ජනතාව ප්‍රධාන පක්ෂ දෙකේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ. එදා ගමේ පාරෙනුත් ගසා කාපු, මන්ත්‍රිලා හිටියෙ. පොහොට්ටුවේ කණ්ඩායමට දූෂණයට තිත තියනවා කියලා පොරොන්දු වෙන්න බෑ. ඒ වගේම යූ.එන්.පී. පාක්ෂිකයන් 2015 පෙබරවාරි 27ට කලින් මහා ගැම්මකින් හිටියා මොනවා වුණත් තමන්ගෙ නායකයා හොරෙක් නෙවේ කියලා. මිස්ටර් ක්ලීන් කියලා. නමුත් 2015-02-27 දවල් 11.10ට ඒ බලාපොරොත්තුව සුන් කරලා රනිල් වික්‍රමසිංහ මහතා අර මහා බැඳුම්කර මගඩියට පාර කැපුවා. අද එජාප පාක්ෂිකයාට ගමේ කොන්ද කෙළින් තියාගෙන හොරකමට විරුද්ධ වෙන්න බෑ. ඒකට ඔවුන් ඇදලා දැම්මේ එජාප නායක රනිල් වික්‍රමසිංහයි, නියෝජ්‍ය නායක රවි කරුණානායකයි.

88, 89 සිද්ධි ගමේ සාමාන්‍ය ජනතාවගේ ඔළුවලින් ඉවත් වෙලා නෑ. ඒක ජවිපෙට මැතිවරණවලදි බලපානවා නේද?
ජවිපෙට කෙනෙක් ඡන්දය නොදෙන්නට එය එකම හේතුව වෙලා කියලා මං හිතන්නෙ නෑ. එහෙම නම් යූ.එන්.පී.යට කතිරෙ ගහන්නෙත් නෑ. මොකද ජවිපෙට සම්බන්ධ වෙලා හිටපු තරුණ තරුණියන්, හිතවතුන් ඝාතනය කළේ එජාපය. 1971 මේ රටේ තරුණ, තරුණියන් ඝාතනය කළේ ශ්‍රීලනිපය. ඔවුන්ටත් ඡන්දය නොදී ඉන්න තිබුණා. එවැනි කාරණා දේශපාලනයෙ ප්‍රමුඛ කාරණා නොවේ. 2004 මහ මැතිවරණයේදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ලක්ෂ ගණන්වලින් මනාප අරන් මන්ත්‍රි ධුර 42ක් දිනා ගත්තා. ගම්පහ හොරගොල්ල වලව්වේ අනුර බණ්ඩාරනායක පරද්දලා විජිත හේරත් එකට ආවා. අපට ජනතාව ඉහළින් මනාප පාවිච්චි කරලා තියෙනවා.
නමුත් ඒ කළු දශකය නැවත නැවත කරළියට එනවා?

කවුද මේ ගැන චෝදනාව කරගහගෙන යන්නේ. පොහොට්ටුවේ අය. ඔවුන්ට අමතකයි 2005දී මහින්ද රාජපක්ෂ මහතා ජනපති කරවන්නේ ජවිපෙ කියලා. මේවා බොරු චෝදනා. රටේ ජනතාව අපේ වත්මන් දේශපාලනය දිහා බලලා ඡන්දය පාවිච්චි කරන්න.
පක්ෂ දෙකට දිගට හරහට පහර දුන්නට සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලට විකල්ප ජවිපෙ ළඟත් නෑ නේද?

අපිට බලය නොදී විකල්පයක් නෑ කියලා කාටවත් චෝදනා කරන්න බෑ. ජවිපෙට මහ ආණ්ඩුවක් දෙන්න තවදුරටත් කල්පනා කරනවා නම් අපිව පරීක්ෂා කරන්න තවත් කල් වුවමනා කියලා හිතනවා නම් ඔබ මේ ග්‍රාමසේවා වසම් දෙක තුනක් තියෙන පුංචි කොට්ඨාසයක් භාරදීලා බලන්න. එදාට ඔබේ තක්සේරුව කියන්න.
අද ජවිපෙ යූ.එන්.පී.යේ වලිගය වෙලා කියන බරපතළ චෝදනාව නවතින පාටක් නෑ වගේ.
ඒක අපිට එච්චර බරපතළයි කියලා ගනන් ගන්නෙ නෑ. මොකද ඔවැනි චෝදනා අපට ඉතිහාසයේ සිට තිබුණා. රෝහණ විජේවීර සහෝදරයාගේ සිට. තමන්ට අවාසි සහගත දේශපාලනයක අප නිරත වෙනකොට ඔවුන් කරන චෝදනාව තමයි අපි කාගෙ හරි වලිගයක් කියලා. ඔය චෝදනාව එල්ල කරන්නෙ පොහොට්ටුකාරයෝ. ඔය පොහොට්ටුවට තමයි යූ.එන්.පී.ය. එක්ක වැඩිම ඩීල් එක තියෙන්නෙ. එහෙම නොවෙනවා නම් ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට අර තරම් බරපතළ නඩු විභාගයකට පස්සෙ එළියට එන්නෙ කොහොමද? කෙළින්ම මහින්ද රාජපක්ෂ මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා මුණ ගැහිලා කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක්. අර රත්රන් මගඩියට සම්බන්ධ ශිරන්ති නෝනා අද කොහොමද එළියෙ ඉන්නෙ. වික්ටර් රත්නායකගෙ නෝනා පුංචි රත්රන් හොරකමකට හිරේ යන්නයි, මහින්ද මහත්තයාගේ නෝනා එළියෙ ඉන්නයි හේතුව රනිල් එක්ක තියෙන ඩීල් එක නිසා. ඔතරම් චෝදනා තියෙන බැසිල්, වීරවංශ කොහොමද එළියෙ ඉන්නෙ.

ඔබ පක්ෂයේ හිටපු ප්‍රචාරක ලේකම්වරයාගෙන් තමයි ප්‍රබලම චෝදනාව එල්ල වෙන්නේ?
ඔහු ඉදිරිපත් කරන චෝදනාවට කිරිඇල්ල එකපාරක් උත්තරයක් දීලා තිබුණා. ඔහුගේ හිතවත් ගම්මන්පිල මන්ත්‍රිවරයා එකවරක් මාධ්‍ය හමුවකත් කිව්වා ඔහු අර හොර පාස්පෝට් එකෙන් රට යන්න හදනකොට ඔහුට යන්න ඉඩ දුන්නේ අගමැතිගෙ නියෝගයෙන් කියලා. ඩීල් එක තියෙන්නෙ ඔවුන්ට. ඔය මත්තෙගොඩ, කහතුඩුව ගෙවල් ඥාතීන්ට දීපුවා ගැන අමාත්‍යාංශ වාහන තමන්ගෙ පක්ෂයේ අයට බෙදාදීපු එක ගැන කෝටි 8 1/2 වත්කම් උපයාගත්තු හැටි මේවට පරීක්ෂණ අවසන් කරලා ෆයිල් භාරදී තියෙද්දි නඩු ප්‍රමාද වෙන්න වීරවංශ ශ්‍රීලනිපය දෙකඩ කරන කොන්ත්‍රාත්තුවට අත ගහපු නිසා. ලංකා දේශපාලනයේ රනිල්ගෙ ලොකුම කොන්ත්‍රාත්තුව භාරගෙන තියෙන්නෙ වීරවංශ, ගම්මන්පිල, රෝහිත, වෙල්ගම, ජොන්ස්ටන්, බැසිල්, ජී.එල්. පොහොටු නඩය. මේ ත්‍රාඩ කල්ලිය තමයි ශ්‍රීලනිපය දෙකඩ කරලා යූ.එන්.පී.යට වාසි දෙන්නේ.
දැන් මොනවා කිව්වත් ආණ්ඩුව ගේන්න යටින් සහාය දීලා දැන් මොකුත් නොවුණු ගානට ඉන්නවා කියලා චෝදනාව එල්ල වෙනවා. ආණ්ඩුවත් වරද්දා ගත්තා. ජවිපෙටත් වැරදුණා.

දේශපාලනයේදී සමහර කාරණා තියෙනවා කොතරම් අපි සත්‍ය ප්‍රකාශ කළත් විකෘති මතය තමයි සමාජගත වෙන්නෙ සහ ජනමාධ්‍යගත වෙන්නෙ. මේකත් එහෙම එකක්. අපි තනිව 2015දී ජනාධිපතිවරණයේදී තරග කළේ. ආසන 6ක් ලැබුණා. පාර්ලිමේන්තුවේ අසුන් ගත්තා. බුලත් කොළේ කොටසක් ආණ්ඩුවට ගියා. ආණ්ඩුවට මුක්කු ගහලා ඉන්නෙ කවුද? එහෙම අය අපට චෝදනා කරන්නේ. රනිල්ට ආසන 41 තියාගෙන අගමැතිකම දෙන්න යද්දි ඔය කල්ලිය කටක් ඇරියෙ නෑ. මේ චෝදනාව පට්ටපල් බොරුවක්. උෟරෝ මඩ නාගත්තම උන් හතර වටේම තියෙන තාප්පවලයි ගස්වලයි උල උලා යනවා. මේ අසූචි සන්ධානය වහගන්න හදන්නෙ මේ විදියට.
ඔබ කෝප් කමිටු සාමාජිකයෙක්. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අන්තිමට මේ සිද්ධියේදී ජනාධිපතිගෙ කඩුවට කාගේ බෙල්ල කැපෙයිද?
බැඳුම්කරේ මහා චූදිතයන්ට දඬුවම් ලැබෙන්නෙ නෑ. නිකම් දේශපාලන වාසි ලබාගන්න ඇත්ත චූදිතයන් යට ගහන්න කල් ගන්න උත්සාහයක්. මේ චූදිතයන්ට නඩු පවරනවා නම් කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනාපු 2016 ඔක්තෝබර්වලින් කරන්න තිබුණා. අවුරුද්දයි මාස ගණනක් ගතවෙලා ගත්ත ක්‍රියාමාර්ගයක් නෑ. දැන් මේ ජනපති කොමිෂන් වාර්තාවෙන්, නීතිපතිවරයා හරහා නඩු පවරන්න අවශ්‍යයි. නඩු පවරලා විභාග කරලා ඒකට අභියාචනයක් දීලා දඬුවම් දෙන්න කොච්චර කල් යයිද හිතන්න බෑ. අපේ රටේ මහා චූදිතයන්ට කිසි කලෙක දඬුවම් ලැබිලා නෑ. 2020 මහ මැතිවරණයට තුරුම්පුවක් බවට පත් වෙනවා නම් ඒ ආසන්නයේදී ඔය මහ බැංකුවේ ඉන්න සුළු නිලධාරියෙක්, ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. එකේ ඉන්න සුළු නිලධාරියෙක්, පර්පචුවල් ට්‍රෙෂරීස්වල ඉන්න පල්ලෙහා මට්ටමේ සේවකයෙක් හිරේ යාවි. ඒ හැර වෙන දෙයක් නෑ.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon