කිලිනොච්චිය බියපත් කරන ජල්ලි කට්ටු ගොන් පොර

  👤  3497 readers have read this article !
By mawbima 2018-01-21

කිලිනොච්චියට හදිසියේම කඩා පාත් වූ අලුත්ම ජල්ලියක් නිසා මේ දිනවල මුළු කිලිනොච්චියේම වැසියෝ බිය වී සිටිති. නාඹර තරුණ පිරිමි දරුවන් සිටින මවුපියෝ මේ අලුත්ම ජල්ලියට තව තවත් බිය වී සිටිති. මුළු ලෝකය පුරා ප්‍රචලිත ගවයෙන් සමඟ පොර බදිමින් කරපු ජල්ලි කට්ටු ක්‍රීඩාව කිලිනොච්චියට පැමිණීමත් සමඟම එහි වැසියෝ බිය වී සිටිති.

ජල්ලි කට්ටු ක්‍රීඩාවට සහභාගි වන්නේ නාඹර තරුණයෝය. සවිශක්තියෙන් යුතු හා දැඩි ආත්ම ශක්තියෙන් යුත් තරුණයෝ ජල්ලි කට්ටු ක්‍රීඩාවට සහභාගි වෙනවා සේම ජල්ලි කට්ටු ක්‍රීඩාවට තෝරා ගනු ලබන්නේද ශක්තිය ඇති ගවයෝය.

ඉන්දියාවේ හා යුරෝපයේ බොහෝ රටවල ප්‍රචලිත 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවේදී අවසාන ප්‍රතිඵලය වන්නේ ගවයා මියයෑමය. ඒ 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව උපරිමයටම ගියහොත් පමණි.
'ජල්ලි කට්ටු' ක්‍රීඩාවේදී ගවයාට අත් වන ඉරණම කුමක් වුවත් ඒ ක්‍රීඩාවේ නිරත වන ජවය ඇති තරුණයන්ට සිදුවන හා සිදුවිය හැකි අතුරු ආන්තරා බොහෝය.
ගවයාගේ ජව සම්පන්න බව අනුව ජල්ලි කට්ටු ක්‍රීඩකයන්ට සිදුවන අතුරු ආන්තරාවන්ද බොහෝය. 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවේදී සිදුවන්නේ තරුණයෝ පිරිස් හා කණ්ඩායම් වශයෙන් ගොස් දෙපිලකට බෙදී ගවයන් මෙල්ල කිරීමයි. ගවයා මෙල්ල කරගත් පිරිසට ජය අත්වෙයි.

ගවයන් මෙල්ල කිරීමට යන තරුණයෝ ගවයාගේ එල්ලී ගවයා මෙල්ල කිරීමට උත්සාහ දරයි. මේ අවස්ථාවේදී තරුණයන්ට තුවාල සිදුවිය හැකි අවස්ථා එමටය.
ගවයාට පෑගීමෙන් තුවාල සිදුවිය හැකිය. ගවයාගේ වලිගයේ හෝ කකුලේ එල්ලුණු තරුණයාද ඇදගෙන ගවයා දිවයෑම නිසා තරුණයාගේ මුළු ඇඟම පට්ට ගැසී යන අවස්ථාවන්ද තිබේ.
ගවයා අං දෙකක් සහිත ගවයකු වූ විට මේ 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවේ ඇති අවදානම වැඩිය. ගවයාගේ අංවල තුඩුවලට හසු වී 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවේ යෙදෙන තරුණයන්ගේ ඇස් ගැලවී යෑමද නිතර නිතර සිදුවන්නකි.

මේ සියලු දේ කෙරෙහිම අවධානය යොමු කරන විට 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව යනු ජීවිතයත් මරණයත් අතර සිදු කෙරෙන ක්‍රීඩාවකි.
ජල්ලි කට්ටු ක්‍රීඩාව බොහෝ රටවල තහනම් ක්‍රීඩාවක් වන අතර තවත් සමහර රටවල එය තහනම් ක්‍රීඩාවක් නොවේ. ශ්‍රී ලංකාව 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව තහනම් කොට ඇති රටක් නොවේ. නමුත් මේ ක්‍රීඩාවේ යෙදෙන පිරිස් මුදල් ඔට්ටු මත 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවේ යෙදෙන්නේ නම් එය තහනම් වෙයි.
මේ දිනවල හදිසියේම 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව කිලිනොච්චියට පැමිණියේ තෛපොංගල් සමයත් සමඟිනි. සවස් කාලයට කිලිනොච්චියේ නාඹර තරුණයෝ එක් වී ගවයන් සමඟ ජල්ලි නැටීම ඔවුන්ට සාමාන්‍ය ක්‍රීඩාවක් වී ඇතත් කිලිනොච්චියේ මවුපියෝ මේ 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවට ඉතා තදබල ලෙස විරෝධයක් දක්වනු ලබති.
කිලිනොච්චියේ මවුපියන් ප්‍රකාශ කරන්නේ මේ ක්‍රීඩාවේ යෙදෙන තම දරුවෝ මුදල් සමඟ ඔට්ටු අල්ලමින් ක්‍රීඩා කිරීම නිසා ඔවුන් සූදු අන්තුවන් බවට පත් විය හැකි බවයි. 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවට යෙදවීමට මුදල් නොමැති වූ විට ගෙදරින් මුදල් සොරකම් කිරීමත් එය බැරි වූ තැන වෙනත් තැන්වලින් සොරකම් කිරීමත් සිදුකරන නිසා මේ කිලිනොච්චියේ වැඩිහිටි මවුපියන්ගේ බිය තුළ යම් සාධාරණයක් වෙයි.

තවත් බොහෝ මවුපියෝ 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවට විරෝධයක් දක්වනු ලබන්නේ මේ ක්‍රීඩාව නිසා සිදුවිය හැකි අතුරු ආන්තරාවලින් තම දරුවන්ගේ ජීවිත විනාශ වී යා හැකි නිසාවෙනි.

'ජල්ලි කට්ටු' ක්‍රීඩාවෙන් ලබන ජයග්‍රහණයට වඩා එම ක්‍රීඩාවෙන් ලැබිය හැකි අනතුරුවල ප්‍රමාණය ඉහළය. අනතුර දරුණු වුවහොත් ක්‍රීඩාව මැද අත්වන්නේ මරණයයි. 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවට එක් පැත්තකින් සහභාගි වන තරුණයෝ බත් කන යම් මොළයක් ඇති සත්ත්ව කොට්ඨාසයක් වුවත් ඔවුන් සමඟ ප්‍රතිවිරුද්ධ පැත්තෙන් 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවට සහභාගි වන්නේ තණකොළ බුදින හරකෙකි. මේ හරකා සෑම විටම උත්සාහ කරනු ලබන්නේ තමන්ව වළක්වන තරුණයන්ට කුමන හෝ ප්‍රහාරයක් එල්ල කොට ඔවුන්ගෙන් මිදී පලායෑමටය. හරකා මේ ප්‍රහාරය කකුලෙන්, ඔළුවෙන් හෝ අං දෙකෙන් තරුණයන්ට එල්ල කරනු ලබන්නේ මරබිය සමඟිනි. එම ප්‍රහාරයේ අවසානය කොතැනද යන්න කිසිවකුටත් ප්‍රකාශ කළ නොහැකි වේ.

මේ නිසා කිලිනොච්චියේ වැසියෝ අලුතෙන්ම කිලිනොච්චියට පැමිණි 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවට එරෙහිවීම පුදුමයක් නොවේ. ඔවුන් තවදුරටත් කියා සිටින්නේ මේ තෛපොංගල් සමයේදී තමන්ගේ දරුවන්ට විනෝදවීම සඳහා දින කීපයකට පමණක් 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවට ඉඩ ලබා දෙන බවයි.
ළමයින්ගේ විනෝදෙ නිසා අපි මේකට තව දවසක් දෙකක් ඉඩ දෙනවා. ඔවුන් මේ 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව නවතන්නේ නැත්නම් අපි සංවිධානය වෙලා පොලිසිය ඇතුළු බලධාරීන්ගේ උදව් අරගෙන මේ 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව කිලිනොච්චියේ තහනම් කිරීමට කටයුතු යොදනවා. නැත්නම් අපේ ළමයින්ට සිද්ධ වෙන්නේ ලොකු විනාශයක්. අපි ඒකට ඉඩ තියන්නේ නෑ.

හින්දුන් ගවයාට අසීමිත ලෙස ආදරය කළත් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මේ 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව ඉතා ජයටම සිදුවෙයි. මීට මාස අටකට පමණ ඉහතදී තමිල්නාඩු ප්‍රාන්තයේ බලධාරීන් 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව තහනම් කිරීමට කටයුතු කළ අවස්ථාවේදී එම තීරණයට විරෝධය පළ කරමින් යාපනයේ වැසියෝ උද්ඝෝෂණයක නිරත වූහ. ඊට දින දෙකකට පසුව තවත් පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් විසින් ගන්නා ලද එම තීරණයට සතුට පළකරමින් 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව තහනම් කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ පැවැත්වූහ.

කෙසේ වෙතත් මේ 'ජල්ලි කට්ටු' ක්‍රීඩාව කිලිනොච්චියේ තවදුරටත් පැවැතියහොත් කිලිනොච්චියේ සිටින ගවයන්ටද ඉතාම නරක දවසක්, නරක කාලයක් උදා වන බව පවසන එහි වැසියෝ මේ ක්‍රීඩාව තවදුරටත් පැවැත්වීම යහපත් නොවන බව කියා සිටියහ. ඒ අනුව ඉදිරි දින කීපය තුළදී කිලිනොච්චියේ වැසියෝ මේ 'ජල්ලි කට්ටු' ක්‍රීඩාවට එරෙහිව වීථි බැස පෙළපාළි යෑම අනිවාර්යයෙන්ම සිදුවන්නකි.

රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon