ජනාධිපතිතුමා ගෙන එන්නෙ දූෂිත දේශපාලඥයින්ට එරෙහි ක්‍රමවේදයක්

  👤  3159 readers have read this article !
By mawbima 2018-01-21

ශ්‍රීලනිපය විදියට පළමු වතාවට විශාල බෙදීමක් එක්ක නේද මෙවර ඡන්දෙට මුහුණ දෙන්නේ?

බෙදීමක් එන්නෙ පළමු වතාවට නෙමේ. 1980දිත් මේ විදියටම බැසිල් රාජපක්ෂ මහත්මයලා ගිහිල්ලා ශ්‍රීලනිපය බෙදලා ඡන්ද පැවැත්වූවා. ඊට පස්සෙ යූ.එන්.පි.යට ගියා. 1987දීත් මේ විදියට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ පක්ෂය බෙදුවා. 1989 ඡන්ද 45,000කින් අඩු වුණා. කෙසේ වෙතත් මේ මැතිවරණයේදී අපි ඉතා හොඳ ස්ථාවර තීන්දුවක සිටිනවා. අපේ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම පාක්ෂිකයන්ගෙන් මං ඉල්ලන්න කැමැතියි එක්සත් ජාතික පක්ෂයට වාසිවන, ශ්‍රීලනිපය බෙදන මේ පොහොට්ටුවේ ක්‍රියාකාරීත්වයට විරුද්ධව ගම්වලින් ඔවුන්ගෙ ශක්තිය බුලත් කොළයට දීලා ජයග්‍රහණය කරවන්න කියලා.

මොන විදියෙ ජයග්‍රහණයක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ?
අපි විශ්වාස කරනවා ඉහළ මට්ටමක ජයග්‍රහණයක් ලැබෙයි කියලා. අපි හිටියෙ ඉතාම පහළම මට්ටමක. නමුත් වර්තමානයේ අපේ කැම්පේන් එක ඉතාම ඉහළ තැනට තල්ලු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ උත්සාහය බහුතර කොට්ඨාස ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමයි.

ඔබ වරෙක චෝදනා කළා පක්ෂ දෙක එකතු කරන එක නැවැත්තුවේ නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ කියලා. නමුත් හැබෑ ප්‍රශ්නය විදියට බලපාලා තියෙන්නේ එජාපයත් එක්ක එකට ආණ්ඩු කිරීම නේද?
ප්‍රශ්නෙ තියෙන්නෙ එතැන නෙමේ. යූ.එන.පි.යත් එක්ක ආණ්ඩු කරන එක මේ සියලු දෙනා අනුමත කළා. කුමාර වෙල්ගම මහතා විතරයි විරුද්ධ වුණේ. එහෙම ආණ්ඩුවක් හදන්න වුණේ එකම පක්ෂයකටවත් ආණ්ඩුවක් පිහිටුවීමට මන්ත්‍රි ආසන ප්‍රමාණවත් නොවීම. අවසානයට අපි එක් නොවී හිටියා නම් බොහොම පැහැදිලිවම අපේ පක්ෂයෙන් 6, 7 දෙනෙක් එජාපයට ගිහිල්ලා තනි ආණ්ඩුවක් හදනවා. ඒක වළක්වන්න තමයි අපේ අපේක්ෂාව වුණේ. ඒකට සියල්ල එකඟ වුණා. දැන් තමයි මේගොල්ලෝ ඒකට විරුද්ධයි කියන්නෙ.

ඔබ තවමත් එවැනි මතයකද ඉන්නේ?
ඔව්. අපි අදත් කියන්නේ අපි අද එළියට ආවොත් හෙට උදේ වෙද්දි ඒකාබද්ධ විපක්ෂයේ එකොළොස් දෙනෙක් විතර ඉන්නවා ගිහින් ඉඳගන්න. යූ. එන්.පි. තනි ආණ්ඩුවක් පිහිටුවනවා. ඒක වළක්වන්න තමයි අපි මේ ගමන ආවේ.

දූෂණ විරෝධී බලවේගයක් හදනවා කියලා ඔබලා ප්‍රතිඥා දුන්නට පසුගිය රාජපක්ෂ පාලනයේ අපචාරවලට හවුල් අයගේ ගෝලයොත් ශ්‍රීලනිපයෙන් ඡන්දෙ ඉල්ලනවා නේද?
සමහරු ඉන්නවා. හැබැයි දූෂිත පුද්ගලයන් අපි ළඟ ඉන්නවා කියලා මං හිතන්නෙ නෑ. මොකද දූෂිතයන්ට අපිත් එක්ක ඉන්න බෑ. දෙවැනි කරුණ ජනපතිතුමා එක්ක අපි මේ ගෙන යන ක්‍රමය පැහැදිලිවම දූෂිත දේශපාලඥයන්ට එරෙහිව අරන් යන ක්‍රමවේදයක්. අපිට ඒ ශක්තිය තියෙනවා ග්‍රාමීය මට්ටමේ ඉඳන් ජනතාවට කතා කරන්න.
ඔබ කලින් කිව්වා බහුතරයක් නැතිව ආණ්ඩුවක් ගොඩනැඟීමේ හැකියාවක් තිබුණෙ නෑ කියලා. හැබැයි දැන් දෙගොල්ල දෙපැත්තට වෙලා කියන්නේ තනි ආණ්ඩුවක් හදනවා කියලා. එකට ඇවිත් මෙහෙම කියන එක සාධාරණද?

2020 තමයි අපි තනි ආණ්ඩුවක් හදනවා කියන කාරණය මතු කරන්නේ. ඊට මෙහා යම් වෙනස්කමක් වෙයි කියලා මං හිතන්නෙ නෑ. නමුත් 2020 එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට අපි තනි ආණ්ඩුවක් ගොඩ නඟනවා.
එහෙම නම් පක්ෂ දෙක එක්විය යුතුයි එහෙමද?
ඔව්. පක්ෂ දෙක එකතු විය යුතුයි ඒ සඳහා.
ජනාධිපතිවරයා විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ වේදිකාවල කිව්වත් මේ වෙද්දි කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ කියලා ප්‍රබල චෝදනාවක් තියෙනවා. මේ ආන්දෝලන කතා පෙබරවාරි 10 වෙනකම් විතරද?

බොහොම පැහැදිලිවම එතුමා බැඳුම්කර කොමිසම සම්බන්ධව ගත්තොත් කොමිසම දැම්මට පස්සෙ චෝදනාවක් ආවා මෙහෙම කොමිසමක් දැම්මට වැඩක් නෑ කියලා. වාර්තාව එළියට දාන්න හදද්දි කිව්වා මේ වාර්තාව එළියට දාන්නෙ ඡන්දෙන් පස්සෙ තමයි කියලා. ඊට පස්සෙ වාර්තාව එළියට ආවට පස්සෙ ඒක නීතිපතිට යවපුවාම කියනවා ඒකට ක්‍රියා කරන්නෙ නෑ කියලා. ඉතින් මං හිතන්නෙ මේ කතා පැත්තකින් තියලා තීන්දු තීරණ බැලිය යුතුයි. දැන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. දැන් උපරිම ක්‍රියාමාර්ග නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගත යුතුව තිබෙනවා.

මේ වාර්තාව ඉදිරිපත් වීමට නියමිතයි. දිගින් දිගටම පැවැති තත්ත්වය එක්ක ගන්න ක්‍රියාමාර්ග කොයි ආකාරයක් ගනීද?
පැහැදිලිවම දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට යයි. විශේෂයෙන්ම ඔවුන්ට මහාධිකරණයෙන් අධි චෝදනා ගොනු කිරීම තමයි ඊළඟට තියෙන්නේ. ඒ සඳහා පියවර අපි ගන්නවා.
ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ බැඳුම්කර කොමිෂන් වාර්තාවේ වංචාවට අදාළ බරපතළම කාරණා ඇතුළත් නෑ කියලා චෝදනාවක් තියෙනවා.
එතුමා කුඩා කොටසක් තමයි ඉදිරිපත් කළේ. දැන් තියෙන්නේ මේක ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත් වුණාට පස්සේ අපිට පුළුවන් මේකෙ තියෙන කාරණා ගැන තර්ක කරන්න. ඒ නිර්දේශ මා හෝ ඔබ තවම දැකලා නැහැ. ඔය සංක්ෂිප්ත වාර්තාව හෝ ඉදිරිපත් කළේ නැත්නම් තව මාස එකහමාරක් බලන් ඉන්න වෙනවා කියලා බැඳුම්කර කොමිසම ස්ථාවරයක් තිබුණා. දැන් අපි ශක්තිමත්ව ක්‍රියා කරන එකයි තියෙන්නේ.
යම් හෙයකින් මෙය කල් මැරුවොත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරනවා කියලා මතයක් ඇතිවෙනවා නේද?
ඒක තියෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුව අතේ. දැන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක විය යුතුයි. දැන් ඒ සම්බන්ධ බලය ජනාධිපතිට නෑ.
මිහින් ලංකා සහ එයාර් ලංකා ගනුදෙනු ගැන හොයන්න ජනාධිපතිවරයා කොමිසමක් පත් කරන්න යනවා. ඇයි මෙච්චර කල් ගියේ මෙහෙම තීරණයකට එන්න?
ඔව්, පරක්කුවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනෑ ගිය ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවෙත් ප්‍රශ්න තියෙනවා එයාර් ලංකා එකේ කාරණා ගැන. ඒ හින්දා මෙවැනි කොමිසමක් පත් කරන එක හොඳයි.
ඡන්දයක් කට උඩ තියාගෙන ඇයි ජනාධිපතිවරයා ධුර කාලයක් ගැන අහන්න ගියේ?
විවිධ අය දිගින් දිගටම ඒ කාරණා මතු කළා. එතුමාට අවුරුදු 6ක් තියෙනවා. අවුරුදු 5ක් තියෙනවා කියලා. ඒ අතරමැද යම් කාරණයක් හොයාගන්න බැරිවුණාම ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව එතුමාට විශේෂයෙන්ම ඒ ගැන විමසීමක් කරන්න පුළුවන්. එහි කරුණු පැහැදිලිවම තීරණය වෙන්නෙ ව්‍යවස්ථාවට අනුව. එහි ප්‍රතිඵලය ගැන අපි සෑහීමකට පත්විය යුතුයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවුණ විශාල ගාලගෝට්ටියත් එක්ක කොහොමද විනයක් සහිත පාලනයක් ගැන විශ්වාසයක් තබන්නෙ?
ඇත්ත වශයෙන්ම මේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා කරන්න විවාදයක් ඉල්ලුවාම අග්‍රාමාත්‍යවරයා එය දුන්නා. ඒක දුන්නෙ නැත්නම් කියන්නෙ දුන්නෙ නැහැ කියලා. ඊට පස්සෙ තමයි දෙගොල්ල හොරු හොරු කියලා දෙපැත්තට ගහගත්තෙ. ඉතාම අශෝභන සිද්ධියක්. රටේ සිද්ධ නොවිය යුතු දෙයක්. ඒක ඇති කරගත්තෙ ඉල්ලා ගන්න ගිහිල්ලා වගේම දෙන්න ගිහිල්ලා. ඒ ප්‍රකාශය තුළත් ඉතාම කෝප ගැන්වීමක් සිද්ධ වුණ අනෙක් පාර්ශ්වයෙන්. මෙය නොවිය යුතු සිදුවීමක්.
ඔබ මේ සිද්ධියේදී අගමැතිවරයාගේ ක්‍රියා කලාපය ආරක්ෂා කරන්න හදනවා වගේ?
නෑ. මං පැහැදිලිවම කිව්වේ අගමැතිතුමා කරපු ප්‍රකාශයත් වැරැදියි කියලා. මට කවුරුත් ආරක්ෂා කරන්න දෙයක් නෑ. එතුමා ඒ ප්‍රකාශය නොකළ යුතුව තිබුණා. එතුමා ඒකෙන් තමයි මේ ඇවිස්සිල්ල සිද්ධ වුණේ. ඒ ක්‍රියාදාමය තුළ එතුමාටත් ඒක අපකීර්තියක් වුණා. අන්තිමට සිද්ධ වුණේ විශාල කලබගෑනියක් ඇතිවෙලා පාර්ලිමේන්තුව පොඩි ළමයින්ගේ ගානට වැටිච්ච එකයි.

ඔබ ක්‍රීඩා විෂය භාර ඇමැතිවරයා ලෙස මේ ප්‍රශ්නය යොමු කරන්නේ. දිගින් දිගටම ක්‍රිකට් පරාජයට පත්වෙනවා. මේ වෙනුවෙන් මොකක්ද කළ යුතුව තිබෙන්නේ.
ඒකට මට චෝදනා කරලා වැඩක් නෑ. ක්‍රිකට් ගහන්නේ මං නොවේ, ක්‍රීඩකයොනේ. අපි ක්‍රිකට් ගහනකොට කකුලෙන් අදිනවා නම්, බෝල් කරන්න දෙන්නෙ නැත්නම් මං ඒකට වගකියන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩකයෝ හරියට තමන්ගෙ යුතුකම් කොටස ඉටු කරන්න ඕනෑ. ඒ සඳහා ඔවුන් දැන් යම් ස්ථාවරයක ඉඳීවි කියලා මං විශ්වාස කරනවා චන්දික හතුරුසිංහ පැමිණීමත් සමඟ. මේ යන ටුවර් එකෙන් පස්සෙ බලමු. අපේ පැත්තෙන් කළ යුතු දේවල් කරලා නැත්නම් අපිට චෝදනා කළාට කමක් නෑ.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon