දවස් 30ක් කිලෝමීටර් 960ක් පාද චාරිකාවේ ගිය 71 වියැති සද්ධාජීව හාමුදුරුවෝ

  👤  3188 readers have read this article !
By mawbima 2018-01-21

එක් දිනකට එක් වරක් පමණක් දානය වළ¼දමින් දින තිහක් පුරා කිලෝමීටර් නවසිය හැටක දුරක් පා ගමනින් රට වටා වැඩම කොට ධර්ම ප්‍රචාරයෙහි නිරත වූ 71 වියැති ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබිණි.
ඒ පිළිබඳව තොරතුරු සොයා අප කොට්ටාව අතුරුගිරිය මාර්ගයේ පිහිටි ශ්‍රී පුණ්‍යාභිවර්ධනාරාම විහාරස්ථානයට ගොඩවුණෙමු.
උන්වහන්සේ නමින් ලේල්වල සද්ධාජීව හිමිපාණෝය.

ගාල්ල බද්දේගම පහළ ලේල්වල උන්වහන්සේගේ උපන් ගමය.
උන්වහන්සේ කොට්ටාව ශ්‍රී පුණ්‍යාභිවර්ධනාරාම විහාරස්ථානයට වැඩම කරන්නේ ඉතා කෙටි විවේකයක් සඳහාය.
උන්වහන්සේ මෙම චාරිකාව අරඹන්නට තිබුණේ ඉකුත් නොවැම්බර් මස 16දා උදෑසනය. කොට්ටාව ශ්‍රී පුණ්‍යාභිවාර්ධනාරාම විහාරාධිපති පූජ්‍යපාද වේරදූවේ සිරිජෝති ස්වාමීන් වහන්සේට මේ බව සැලකොට උන්වහන්සේගේ අවසරය සහ ආශීර්වාදය ලබාගෙන ඉන්පසුව කොට්ටාව පොලිස් ස්ථානයට වැඩම කොට එහි ස්ථානාධිපතිට මේ බව දන්වා ඔහු ලවා ස්වාමීන් වහන්සේ අත තිබූ කොපි පොතක සටහනක් තබාගෙන මෙම පාද චාරිකා ධර්ම ප්‍රචාරක කටයුත්ත ආරම්භ කරන්නේය.

එදින උදෑසන 8.37ට යෙදුණු සුබ මොහොතින් මේ ගමන ආරම්භ කරන උන්වහන්සේ කොට්ටාව නගරයේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ කොටුවට ගොස් එතැනින් ගාලු පාර ඔස්සේ දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, අලුත්ගම. අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, හම්බන්තොට, තිස්ස, කතරගම, වැල්ලවාය, ඇල්ල, බදුල්ල, කන්දකැටිය, මහියංගණය, දිඹුලාගල, පොළොන්නරුව, කැකිරාව, අනුරාධපුරය, තලාව, ගල්ගමුව, අඹන්පොළ, වාරියපොළ, කුරුණෑගල, නිට්ටඹුව, යක්කල හරහා නැවත කොළඹ කොටුවට ළඟාවෙමින් පාදචාරිකාව අවසන් කර තිබිණි.

උන්වහන්සේ මෙම ගමන සඳහා දින 30ක කාලයක් ගතකොට ඇත. ගමනේ දුර පමාණය කිලෝමීටර් 960 පමණය.
ලේල්වල සද්ධාජීව ස්වාමීන් වහන්සේ පවසන කතාව මෙසේය.
දින 29ක් ඒ ඒ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවල රැය පහන් කළා. එක් දිනක් විහාරස්ථානයක් සොයාගැනීමට නොහැකිවූ තැන මාර්ගය අසල තිබූ බස් නැවතුම්පළක රැය පහන් කළා. ඒ දෙහිඅත්තකණ්ඩිය බතලයාය ප්‍රදේශයේදී.
මේ ගමනේ අරමුණ වුයේ බුදු දහම මේ ලක් දෙරණ තවමත් පවතීය යන පණිවුඩය රටවැසියාට ලබාදීම පමණයි. ලැබෙන කටුක සහ අමිහිරි අත්දැකීම් සියල්ල උපේක්ෂාවෙන් විඳ දරාගන්න ඒ නිසා මට හැකිවුණා.

දිනකට කිලෝමීටර් 25-30 පමණ දුරක් ගෙවා දැම්මා. සමහර දිනවල ජනශූන්‍ය පෙදෙස්වලදී කිලෝමීටර් 45ක පමණ දුර ගෙවන්න සිදුවුණා.
මම සෑම දිනකම අලුයම 4.30ට අවදි වෙනවා. ගමනට ලෑස්ති වෙනවා. වැඩසිටි විහාරස්ථානයෙන්ම උදේ දානය වළ¼දා උදෑසන 7 පමණ වනවිට ගමන් ආරම්භ කරනවා.
ඒ යන මාර්ගය දෙපස සිටින, හමුවන, කතාබහ කරන, සැපදුක් විමසන හැම දෙනාටම මම ධර්ම පත්‍රිකාවක් ලබා දුන්නා. මෙසේ ලබාදුන් ධර්ම පත්‍රිකා ගණන 16,000 පමණ ඇති.

මම පාදචාරිකාව ආරම්භ කරන විට ධර්ම පත්‍රිකා රැගෙන ගියා. ඒවා අවසන් වන අවස්ථාවේදී මඟතොටේ හමුවන දායකයන් ලවා "ඒවා නැවත ඡායාපිටපත් කර ගත්තා"
උදෑසන දානය වළ¼දා පිටත් වුණාම ධර්ම ප්‍රචාරය කරමින් වැඩම කරනවා මිස දවල් දානය සොයා වැඩම කරන්න ඉඩක් නෑ. පැන් වීදුරුවකින්, තැඹිලි ගෙඩියකින්, ‍ෙදාඩම් වීදුරුවකින් සෑහෙන්න සිද්ධ වුණා." උන්වහන්සේ කියති.
මෙසේ ගෙවා දමන සෑම නගරයකම පිහිටි පොලිස් ස්ථානයට ගොස් එහි ස්ථානාධිපතිවරයාගෙන් උන්වහන්සේගේ අත ඇති කොපි පොතේ සටහනක් තබාගන්නට අමතක කර නැත.

එසේම නවාතැන් ගත් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ ලවාද ආශීර්වාද සමරු සටහන් එම පොතෙහි දක්නට ඇත. එසේ සටහන් තැබූ පොලිස් ස්ථාන 80ක් වූ බව ස්වාමීන් වහන්සේ පවසති.
"මේ ගමනේදී සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු ආදී විවිධ ජාතීන් සහ ආගම් අදහන පිරිස් මට හමුවුණා. ඒ අතරේදී එක්තරා කතෝලික භක්තිකයකු මට දානය පිළිගැන්වීම සඳහා පාත්තරය ඉල්ලා සිටියා.
ගමනේදී සමහර පිරිස් මගෙ ගමන පිළිබඳව අවඥාවෙන් කතා කළා. සමහර මිනිසුන් ඉතා පැහැදීමෙන් ගෞරවයෙන් කතා කළා.
දමිළ-මුස්ලිම් ජාතිකයන් මට දානය පිළිගැන්වීමට සහ නවාතැන් පහසුකම් ලබාදීමට පවා විමසුවා.

මෙම ගමන සඳහා ස්වාමීන් වහන්සේ රැගෙන ගොස් තිබුණෙ පාත්තරයක්, කුඩයක් අමතර සිවුරු කට්ටලයක් සහ දැහැටි කූරු තොගයක් පමණක් බව කියා සිටී.
එසේම මේ ගමනේදී දහම් ඇසූ පිරිස් පිරිකර ලබාදුන් විට එම පිරිකර සියල්ල එදින රාත්‍රි නවාතැන් ගන්නා විහාරස්ථානයට පූජා කිරීමටද උන්වහන්සේ කටයුතු කළහ.
එසේම විවිධ අවස්ථාවල පුද්ගලයන් මුදල්ද පූජා කිරීමට උත්සාහ කර තිබිණි. එවන් එක් අවස්ථාවක් සද්ධාජීව ස්වාමීන් වහන්සේ එම ප්‍රදානයන් පිළිගෙන තිබුණේ නැත.
මේ ගමනේදී ඉතාම ත්‍රාසජනක අවස්ථාවලටද මුහුණදීමට සිදුවුණා. ඒ තමයි වන අලින්ගෙ තර්ජන. මේ ගමනේදී වන අලින් 80කට ආසන්න ප්‍රමාණයක් තනි තනිවම සහ රංචු ගැසී සිටිනු දක්නට ලැබුණා.


ඒ මින්නේරිය, හබරණ සහ පොළොන්නරුව ප්‍රදේශවලදී. ඒ කිසිම අවස්ථාවකදී අනතුරක් සිදුවුණේ නෑ. එක් අවස්ථාවක මා මින්නේරිය - හබරණ පාරේ යමින් සිටියා. ඒ මාර්ගයේම ඉදිරියෙන් වෑන් රථයක්ද ආවා. ඒ ආපු වෑන් රථයේ රියැදුරු මහතා මට යමක් කීවා. ඒත් එය මට නිවැරැදිව නොඇසුණු නිසා මම තව තවත් ඉදිරියට ගියා. ඒ වෙලාවෙ මා පසුකරමින් ධාවනය වූ වෑන් රථය නැවත හරවාවිත් එක වරම මා ඉදිරිපස මාර්ගය හරස් කොට පාර අයිනෙන් වාහනය නතර කළා. එකවරම මා තිගැස්සී ඉදිරිය බලද්දි වෑන් රථයට පිටුපසින් මහ ගසකට මුවාවී සිටි අලියකු හොඬවැල ඔසවාගෙන සිටිනවා දැක්කා. ඒ වෙලාවේ රියැදුරු මහතා මට කීවේ වෑන් රථය හරස් නොකළා නම් අලියා මට පහර දෙනු ඇති බවයි. පසුව මා ඉතිපි... සො ගාථාව කියනවාත් සමඟම අලියා සොඬවැල පහත හෙළාගෙන කැලේට ගියා"
පාද චාරිකා ධර්ම ප්‍රචාරක කටයුත්ත ඉකුත් 17දා කොළඹ කොටුවෙන් නිමා කර තිබිණි.

එම අවස්ථාව සඳහා ස්වාමීන් වහන්සේගෙ දායකයන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපළ අසලට පැමිණ සිටියා.
පිරිත් සජ්ඣායනා මඟින් අනතුරුව චාරිකාව නිමා විය.
මේ වනවිට උන්වහන්සේ කොට්ටාව ශ්‍රී පුණ්‍යාභිවර්ධනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරනු ලබති.

හෂාන් පුෂ්පික-පන්නිපිටිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon