ඡන්දෙට ඇවිත් පරපුරත් එක්ක පිම්මක් පනින්න හදන දඹානේ කැකුළියගේ අමුතු කතාව

  👤  3359 readers have read this article !
By mawbima 2018-01-21

ලංකා ඉතිහාසයේ ජීවත් වූ ගෝත්‍රිකයන් අතර ආදිවාසී (වැදි) ජනතාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් හැඳින්වෙන්නේ කුවේණියගේ පරපුරේ අය ලෙසිනි. අතීතයේ පටන් වර්තමානය දක්වා වනාන්තර ආශි්‍රතව තම ජීවනෝපාය මුල්කර ගනිමින් ජීවත් වෙමින් සිටින මේ ආදිවාසීන්ගේ සංස්කෘතික ක්‍රම ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි.
කෙසේ නමුත් එහි නායක පවසා සිටියේ අතීතයේ සිට අවට වනාන්තර කේන්ද්‍ර කරගනිමින් දෛනික ජීවිකාව කර ගනිමින් මී කැඩීම, බඹර කැපීම, දඩයම් කිරීම, කටුඅල හෑරීම, ගල් සියඹලා කැඩීම, හේන් ගොවිතැන කරමින් තම රැහේ ඇත්තෝ ජීවත් වුවත් වර්තමානයේ වනාන්තර තුළට ඇතුළත්වීම තහනම් කිරීමත් සමඟ තම වරිගයේ ගම්මාන 62ක ආදිවාසී ජනතාවට ජීවත් වීම ගැටලු සහගතව ඇති බවත්ය. ඒ ස¼දහා පරපුරේ ඇත්තන්ගේ අවශ්‍යතා වෙනුවෙන් බලධාරීන්, නිලධාරීන් පිළියම් පොජ්ජ නොකරන බවත් ඒ සඳහා පාලකවරු සමඟ සාකච්ඡා කිරීමත්, තම වරිගයේ ඇත්තන්ගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා ගැනීමට තම වරිගයේ එකකු ලවාම ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙවර පවත්වන ප්‍රාදේශීය සභා මැතිවරණයට පළමු පියවර ලෙස අම්පාර දිස්ත්‍රික්කයෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට කැකුළියක ඉදිරිපත් කළ බව ආදිවාසි නායක උෟරුවරිගේ වන්නිල ඇත්තෝ "මව්බිම"ට කීය.

කෙසේ නමුත් දැනට දඹානේ පමණක් පවුල් 375ක් සහ පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් පදිංචිව සිටී. මෙම පිරිස මේ වනවිට ජීවත්වීම සඳහා මූලික පහසුකම්වත් නොමැතිව සිටින බවත්, දෛනිකව ආදායම් මාර්ග නොමැති කමින් ගමෙන් නගරයට සංක්‍රමණය වීම නිසා තම වරිගයත් එහි සංස්කෘතික ක්‍රම සහ සිරිත්විරිත්ද ගිලිහී යන තත්ත්වයක පවතින බව ගම්වාසීහු කියති.
මේ පිළිබඳ මහියංගණය දඹානේ පිහිටි ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායක උෟරුවරිගේ වන්නිල ඇත්තෝ හමුවී ඉතිහාසය වෙනස් කරමින් පළමු වතාවට තම වරිගයේ ඇත්තියක දේශපාලනයට පිවිසීම පිළිබඳ විමැසීමි.

ප්‍රශ්නය - ඇයි නායකතුමා තමන්ගේ වරිගයේ ඇත්තියක් දේශපාලනයට යැවීමට තීරණය කළේ?
ආදිවාසී නායක - මේ ඇත්තෝ කරන්න යන්නේ ලෝකේ එක්ක ලොකුවට වැඩ කරන්න. එහෙම ගියොත් වෙන්නේ ලොකු විනාශයක්.
උදාහරණයක් කියනවා නම් තප්පිල ඇත්තෝ (කුරුල්ලෝ) ගෙඩි ජාති කවලා තමයි කැකුළෙක් ලොකු මහත් කරන්නේ. මේ කැකුළා ලොකු වෙනකොටම තටු එන්නේ නෑනේ. තටු එන්න කාලයක් යනවා. ඒ කැකුළා අම්මලා අප්පලා වාගේ ඉගිළෙන්න ගියොත් බිමට වැටිලා, මොකෙක් හරි අල්ලන් කාලා දානවා. අන්න ඒ වගේම තමයි අපටත් දැන් වෙලා තියෙන්නේ. අපට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියලා අපි අපේ සිරිත් විරිත් නැති කරලා. ලෝකයේ අනෙක් මිනිස්සු වාගේ අපේ වරිගේ නැති කර ගන්න බෑ. අපේ තියෙන අඩුපාඩු අවශ්‍යතා රටේ ඉහළ ඇත්තන්ගේ ඉඳලා පහළ ඇත්තන්ට අපි කියනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. එදා මෙදා කාලය තුළ අපේ ප්‍රශ්න ගැටලු අපි තව කෙනකුට කියන්න ඕනි. නමුත් දැන් අපි තීරණය කළා ඒ කියන කෙනාගේ තැනට අපේ වරිගයේ කැකුළෙක් හරි කැකුළියක්හරි පත් කරගන්න. අන්න ඒ නිසා තමයි අපේ කැකුළියක් දේශපාලනයට යවන්න තීරණය කළේ. ලංකාව පුරා අපේ ගම්මාන 62ක් තියෙනවා. මේ ගම්මානවල විශාල පිරිසක් ජීවත් වෙනවා. ඒ ඒ පළාත්වල ජීවත් වෙන අපේ පරපුරේ අයගේ ගැටලු විස¼දාගන්න අපේ අය පත් කරගන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒක මේ රටේ කාටවත් නවත්වන්න බෑ. එපා කියන්නත් බෑ.

ප්‍රශ්නය - එතකොට ප්‍රාදේශීය සභාවට විතරද මන්ත්‍රිවරියක් යවන්නේ?

ආදිවාසි නායක - (උස්හ¾ඩින් සිනා සී) නෑ නෑ ප්‍රාදේශීය සභාවටත්, පළාත් සභාවටත්, පාර්ලිමේන්තුවටත් යවන්න තමයි බලාපොරොත්තුව. දැන් අපට විසඳුමක් නෑ. අපේ ප්‍රශ්න ගැටලු විස¼දාගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ පළාත් පාලන ආයතනවලට සහ පාර්ලිමේන්තුවට අපේ රැහේ ඇත්තන්ව ඒවා නියෝජනය කරන්න යවන එක. එතකොට අපටත් පුළුවන් දැන් ඉන්න මන්ත්‍රිවරු මැති ඇමැතිවරු වාගේ තමන්ට සහ තම වරිගයේ අයට සලකන විදියට අපටත් වැඩ කර ගන්න. දැන් අද අපේ රටේ වෙලා තියෙන්නේ ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ සහ රටේ ප්‍රධාන නායකයාගේ වැඩ කරන්න කාලයක් තියෙනවා. කාලය තුළ ගන්නා තීන්දු තීරණ කරන්න බැරි වුණොත් ඒ ඇත්තන්ගේ කාලයෙන් පස්සේ පත්වෙන නායකයෝ අර තීන්දු තීරණවලට වැඩ කරන්නේ නෑ. ඒ අය වෙනත් තීන්දු තීරණ ගන්නවා. ඔය විදියට තමයි සුදු ජාතිකයන්ගෙන් පස්සේ දිගටම මේ රටේ සිදු වුණේ. ඒකයි රට දියුණු වෙන්නේ නැත්තේ. අපේ වරිගයේ එහෙම නෑ. රටටම එක නායකයයි. ඒ නායකයා මැරෙන තුරුම නායකයා. එහෙම වුණාම ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඒ තීරණ කෙළින් තීරණ වෙනවා. කරන සංවර්ධනය නියම සංවර්ධන වෙනවා. දැන් රටේ නායකයන්ට වුවමනා රට දියුණු කරන්න නොවේ. තමන්ගේ ගොඩ වැඩිකර ගන්නයි. තමන්ගේ නම ප්‍රසිද්ධ කර ගන්නයි විතරයි.

ප්‍රශ්නය - රට මේ වෙනකොට ශීඝ්‍ර සංවර්ධනයක් වෙලා සහ වෙමින් පවතිනවා. ඒ පිළිබඳ නායකතුමා කොහොමද දකින්නේ?

ආදිවාසී නායක - රටක සංවර්ධනයක් තිබිය යුතුයි. නමුත් අපේ රටේ මේ කරන්නේ සංවර්ධනයක් නෙවේ. ස්වභාවධර්මය විසින් සංවර්ධනය කළ දේ විනාශ කරනවා කියලා ගහ කොළ, සතා සිවුපාවා, ඇළ‍ෙදාළ, ගංගා විනාශ කරමින් යන සංවර්ධනය මොකටද? අද මුළු ලෝකයේම සංවර්ධනය හේතුවෙන් වනාන්තර පරිසරය විනාශ වීම නිසා මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කරන සංවර්ධනයක් කරන්න ඕනෑ පරිසරයත් රැක ගැනීම මතයි. දැන් ඔය මහවැලි ව්‍යාපාරය සංවර්ධනය කිරීම නිසා ගොඩාක් පරිසරයට හානි වුණා. ඒ වැඩපිළිවෙළ හොඳයි. ඒක ක්‍රියාත්මක කරන පිළිවෙළ තමයි හොඳ නැත්තේ. ඒ වැරැදි ක්‍රම නිසා බොටක¼දාල ඇත්තෝ (අලි) විනාශයි. උන් වැරැදි නෑ. මිනිස් ගැජ්ජෝ (මිනිස්සු) තමයි වැරැදි. රටේ ඉතිරි වෙලා තිබෙන කුඩා වනාන්තර ටිකේ තමයි වන සිවුපාවුන් ජීවත් වෙන්නේ. ඒ සතුන්ට ආහාර නෑ. ඉන්න ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නෑ. එක රැයකට බොටක¼දාල ඇත්කෙක් ගම් හතක දුර මන්ගච්චනව කෑම හොයාගෙන. අද ඒ අයට ගම් හතක් තියා එක ගමකට යන්න විදියක් නෑ. මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ.

පහුගිය දවසක උතුරු ප්‍රදේශයේ බොටක¼දාල ඇත්තෙක් මුහුදේ ගහගෙන ගියා කියලා හමුදාවෙන් ගොඩ ගත්තා. නෑ. ඒ බොටක¼දා ගසාගෙන ගියා නොවේ. ඒකාට හිතුණා වෙනත් රටකට යන්න. මේ රටේ ඒකලාට කන්න දෙයක් නෑ. ඉඳින්න තැනක් නෑ. මිනිස්සු උන් මරලා දළ කපාගෙන යනවා. මේ කරුණු හින්දා තමයි ඒකා යන්න ගියේ. මිනිස් ඇත්තන්ට මොනවා හරි අකරතැබ්බක් වුණාම උසාවි පොලිසි යනවා. වනසිවුපාවෝ යන්නේ කොහාටද? කියන්නේ කාටද? හරියට අපේ වරිගයාට වුණා වාගේ තමයි මේ සතුන්ටත් වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය - මේ ඡන්දය ගැන මොනවද හිතන්නේ?

ආදිවාසී නායක - මම පොඩි කාලේ තිබුණා ඡන්දයක්. ඒකට කීවේ ගම්සභා ඡන්දේ කියලා. ඒ ඡන්දෙදි පක්ෂ දෙකක් ඉදිරිපත් වුණා. ඒ අතර ස්වාධීන පක්ෂයකුත් තිබුණා. ඒ විදියට තමයි ඒ කාලේ ඡන්දේ තිබ්බේ. පස්සේ කාලෙක තමයි ප්‍රාදේශීය සභා, පළාත් සභා ආවේ. හැබැයි දැන් මේ සැරේ ආපු පරණ ක්‍රමය හොඳයි. හේතුව තමයි ගමේ අඩු පාඩු දන්නේ ගමේ එකීලා එකාලා. ඒ අය තමයි ගම ගැන දන්නේ. ගමට වැඩ කරන්න පුළුවන් එතකොට තමයි. නැතිව පිටස්තරයෝ ගමට ඇවිත් ඡන්දෙන් දිනුවට පස්සේ ගමේ හිටින්නේ නෑ. ඒ අය ඒ අයගේ ලෝකවල ජීවත් වෙනවා හැර මිනිස්සු ගැන බලන්නේ නෑ. අපේ ගම්මාන රට පුරා 62ක් තියෙනවා. ඒ අයට හොඳ දැනුමක් වාගේ හොඳ අධ්‍යාපනයකුත් තියෙනවා. දැනට දඹාන පිහිටි පාසලේ සහ අවට පාසල්වල අපේ වරිගේ කැකුළෝ සහ කැකුළියෝ උපාධි හතරක් අරන් ගුරුවරු ලෙස රැකියා කරන අතර බාහිර උපාධි රැගෙන හතරක්. ඒ අයත් ගුරුවරු ලෙස කටයුතු කරනවා. ඒ නිසා අපේ ගමට අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න තිබෙන එකම ක්‍රමය තමයි ගමේ කෙනෙක් පත්කර ගැනීම. ඒ අනුව අපේ වරිගයේ හේනානිගල කැකුළියක් මාගෙත්, ඒ ගමේ නායක ඇත්තන්ගෙ අවවාද අනුශාසනා ඇතිව අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට තරග කරන්න ඉදිරිපත් කළා. මෙතැනදී අපට පාට පක්ෂ අවශ්‍ය නෑ. මොකද අපට වුවමනා අපේ ගැටලු විස¼දා ගැනීම සඳහා සහ ප්‍රශ්න නිලධාරීන්ට, බලධාරීන්ට කියන්නට අවස්ථාව උදාකර ගැනීමයි. එහෙම නැතිව ගැමියෙක් විදියට ඒ ස්ථානවලට අපට අපේ ප්‍රශ්න කියන්න යන්න අවස්ථාවක් දෙන්නේ නෑ. අපි මේ පළමු පියවර ඉදිරියේදී අපි රටේ නායකයා වෙන්න වුණත් අපේ පරම්පරාවේ කැකුළෝ කැකුළියෝ ඉදිරිපත් වෙන්න වුණත් සූදානමින් තමයි ඉන්නේ. ඒකට කාටවත් තහංචි දාන්න බෑ. ඒ අපේ අයිතිවාසිකමක්. මේ සඳහා ජාති භේද උස, කෙට්ටු, පාට, බලපාන්නේ නෑ. තිබිය යුතු එකම දේ තමයි බුද්ධිය සහ දැනුම, නායකයකු ලෙස කෙළින් සිටීමේ ශක්තිය. මේවා තියෙනවා නම් ගමක රටක ලෝකේ නායකයකු වීම කජ්ජක් නෙවේ. අවසාන වශයෙන් මම කියන්නේ දියුණු වෙන ලෝකයත් සමඟ අපිට දැන් කැලෑ ජීවිතයෙන් සමු ගන්න කාලය ඇවිත් වාගේ කියලා තමයි මට හැඟෙන්නේ. මොකද දැන් ජීවත් වෙන්න කැලෑ නෑ. ඒ අනුව නගරයත් එක්ක ජීවත් වෙන්න වෙලා. එහෙම වුණා කියලත් අපේ පරම්පරාව නැති වෙන්නේ නෑ. දැනුම බුද්ධිය අධ්‍යාපනය සහ නායකත්ව ශක්තිය සමඟ තව පාරම්පරා කීපයක් ගිය පසු රටේ නායකයා අපේ පරම්පරාවේ එකෙකු වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින උෟරුවරිගයේ ශිරෝමාලා (37) අපොස (සා. පෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති තිදරු මවකි. ඇය හේනානිගල ආදිවාසී ගම්මානයේ පදිංචි කාරියකි.

ආදිවාසි වැඩිහිටියකු පැවැසුවේ මෙසේය.

මහත්තයෝ අපට වැද්දෝ කියලයි කතා කරන්නේ. ළමයෙක් පාසලට දාන්න ගියත් වැදි ළමයෙක් නේද අහනවා. ඉස්පිරිතාලේට බෙහෙත් ගන්න ගියත් වැදි ගමේ නේද කියලා අහනවා. පොලිසියට ගියත් වැද්දෝ නේද අහනවා. මේක අපට හරි හිසරදයක්. අපි වැද්දෝ තමයි. ඇයි අපෙන් විතරක් එහෙම අහන්නේ. සිංහල කියලා අහනවාද? දෙමළ කියලා අහනවාද? මුස්ලිම් කියලා අහනවාද? නෑ එහෙම අහන්නේ නෑ. මේ රටේ කිසි කෙනෙක් ඉන්න කලින් තමයි මේ වැද්දෝ මේ රටේ ජීවත් වුණේ. මේක අපේ මවුබිම. මේකේ අයිතිය වැඩියෙන්ම තියෙන්නේ අපට. ඒ වුණාට වැඩිපුරම අසාධාරණයට ලක්වෙන්නේ අපි තමයි. අපේ ගමට එන පාර කැඩිලා අවුරුදු ගාණක් වෙනවා. මේ වනතෙක් කවුරුවත් හදලා දුන්නේ නෑ. ප්‍රධාන පාරේ ඉඳලා දුර කිලෝමීටර් හතරක් ඇති ගමට එන්න. බස් එකේ එන්න පැය දෙකක් විතර යනවා.
අනතුරුව ආදිවාසීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ශිරෝමාලා හමුවීමි. කුඩා නිවෙසකි. එහි යන විටත් ඇගේ ආධාරකරුවන් කීප දෙනෙක් සිටියහ.
ප්‍රාදේශීය සභාවට තරග වදින්නේ ඇයි? අපේ ප්‍රශ්නය ශිරෝමාලාටය.

ශිරෝමාලා - අපේ මුල් ගම් වුණේ දඹාන. මාදුරුඔය ජලාශයට අපි පදිංචිවෙලා හිටිය ප්‍රදේශ යට වුණා. ඒ වෙනුවට 1983 අපට මේ හේනානිගල ප්‍රදේශයෙන් කුඹුරු අක්කර එකයි ගොඩ අක්කර භාගයකුයි දුන්නා. ඊට පස්සේ උන්නාද මළාද කියලා කවුරුවත් බැලුවේ නෑ. දැනට මේ ගමේ අපේ පරපුරේ පවුල් 900ක් විතර ඉන්නවා. පුද්ගලයෝ වශයෙන් 3,000ක් වාගේ. අපේ අයට ගොවිතැන් කරන්න දන්නේ නෑ. අපි කළේ මීයක් කඩාගෙන දඩයමක් කරගෙන වැල් අලයක් හාරාගෙන නිදහසේ ජීවත් වුණු එක. අපිට කැලේ යන්න තහනම් කළා. මාළුවෙක් අල්ලන්න තහනම් කළා. ඉන්නක් කපන්න දෙන්නේ නෑ. නිදහසේ හිටපු අපිව ගෙනත් කූඩු කරලා හිරකළා. අර දුන්න අක්කර භාගේ දැන් ගෙවල් 4-5ක් තියෙනවා. අපට කිසිම පහසුකමක් නෑ. වැසිකිළි නෑ. බීමට ජලය නෑ. පාරවල් නෑ. ජීවත් වෙන්න රැකියාවක් නෑ. මේ රටේ මුල් පදිංචිකරුවන් විදියට ඇයි අපට මෙහෙම කරන්නේ? වනජීවී නිලධාරීන් අපට පුදුම විදියට අසාධාරණ කම් කරන්නේ.

අපි ජීවත් වුණු ප්‍රදේශය තමයි මාදුරුඔය ජලාශය හැදුවේ. ඒ වුණාට අපට එකේ මාළු අල්ලන්න දෙන්නේ නෑ. ඒ අවසරය දීලා තියෙන්නේ හලාවත මීගමුව පැත්තේ අයට. අපට වෙන මොනවත් ඕනෑ නෑ. මේ මාළු ටික අල්ලාගෙන ජීවත් වෙන්න දුන්නොත් හොඳටෝම ඇති. ඒත් අපේ රැහේ එකෙක් මාළු අල්ලලා අහු වුණොත් හිර ගෙදර යවනවා. වනජීවීය කරන්නේ අපේ බත් පිඟාන උදුරාගෙන වෙන කෙනකුට දුන්නා වාගේ වැඩක්. පොලිසියත් ඒ වාගේ තමයි. පොඩ්ඩක් වැරැදුණොත් අපේ අයට හොඳටම ගහනවා. අපට සාධාරණයක් වුණත් අසාධාරණයක් වුණත් පොලිසිය අපට කිසිදු සාධාරණයක් කරන්නේ නෑ. මේ කරුණුත් එක්ක අපි ගැන බලන්න අපි වෙනුවෙන් නැඟී හිටින්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නෙත් නෑ. ඉදිරිපත් වෙලාත් නෑ. මාගේ පරපුරට අත්වෙලා තිබෙන තත්ත්වයත්, ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයත් එක්ක ඒවා වළක්වා ගෙන පරපුර ආරක්ෂා කර ගන්න වුවමනා නිසා, පාට පක්ෂ භේදයකින් තොරව, අවස්ථාව ලැබුණා. මේ පක්ෂයෙන් තරග කරන්න.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පැරැණිම සංස්කෘතිය සහ ගති පැවැතුම්වලට හිමිකම් කියන ආදිවාසීන්ට අත්ව ඇති මේ ඉරණම කනගාටුදායකය. ගම්මාන 62ක ජීවත්වන ආදිවාසි ජනතාව ශීඝ්‍ර වෙනස් කම්වලට ගොදුරුවී හමාරය. තමන්ගේ වරිගයෙන් මිදී ආදිවාසී තරුණ තරුණියෝ නගරයට සංක්‍රමණය වෙමින් සිටිති. ඇතැමෙක් කොළඹ ප්‍රදේශයේ කුලී වැඩට ගොස් එහිදී ඇති කරගත් ප්‍රේම සම්බන්ධකම් මත යුගදිවියට පා තබා ඇත. මේ වනවිට ආදිවාසීන් යැයි සොයා ගත නොහැකි තත්ත්වයක් බවටද පත්ව ඇත්තේ ගමෙන් නගරයට පැමිණි කැකුළියන් සහ කැකුළන්ගේ මේ පරිවර්තනයත් සමඟය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon