කාමරයක හිරකරගෙන දස වධ දිදී නොමරා මරපු සුමනරතන හාමුදුරුවන්ගෙ බිහිසුණු කතාව

  👤  3723 readers have read this article !
By mawbima 2018-01-21

අම්පාරේ විහාරස්ථානයක හිමිනමක් තිදෙනෙක් විසින් මාවනැල්ලේදී පැහැරගෙන ගොස් ඇස් බැඳ පහරදී පුරා දෙදිනක් පාළු නිවෙසක සිරකර තබා උන්වහන්සේ අත තිබූ රුපියල් එක් ලක්ෂ විසිපන්දහසක මුදලක් කොල්ල කෑමේ සිද්ධියක් මාවනැල්ලෙන් ඇසේ. පුරා දෙදිනක් නිරාහාරව තබා වධයට ලක් කළ පසු කොල්ලකරුවන් පලාගොස් තිබුණේ හිමියන්ට මරණ තර්ජන එල්ල කරමිනි.

මෙලෙස වධ හිංසනයට සහ මරණ තර්ජනයට ලක්වී ඇති හිමිපාණන් වහන්සේ වන්නේ පිංපාරේ සුමනරතන හිමිපාණන් වහන්සේය. උන්වහන්සේ වයස අවුරුදු 58කි. දැනට වැඩ වාසය කරනු ලබන විහාරස්ථානය පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව පොලිස් බල ප්‍රදේශයේ ‍ෙදාරකුඹුර ප්‍රදේශයේය. විහාරයේ නම පිංකෙත රජමහ විහාරය ය. වාහන ගනුදෙනුවක් සඳහා පැමිණි උන්වහන්සේ තමන්ට අත්වූ ඉරණම කියන්නේ මෙසේය.

"මම මාවනැල්ල වාහන සේල් එකකින් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් මිලදී ගෙන තිබුණා. ඒ ත්‍රීවීල් එක නැවත ඔවුන්ටම විකුණා රුපියල් 1,25,000 මුදලක් අරගෙන යතුරුපැදිය ලියාපදිංචිය සඳහා කොළඹ ආවා. කොළඹින් කිව්වා ලියාපදිංචි කරලා දෙන්න මුල් හිමිකරුගෙන් ලියුමක් අවශ්‍ය බව. මා ඒ ලියුම ගැන මාවනැල්ල වාහන සේල් එකේ මහත්තයට කීවා. ඔහු කීවා දැන් හාමුදුරුවෝ වඩිනකොට රෑ වෙනවානේ. සේල් එකත් පහ වෙනකොට වහනවානේ. මමත් දැන් ගම්පොළ ඉන්නේ. ඒ වුණත් කමක් නැහැ ඔබ වහන්සේ වඩින්න කියලා. මමත් 16 වැනිදා ව්‍යාපාරික මහත්තයා කියපු විදියට කොළඹ ඉඳන් මාවනැල්ලට ඇවිත් බැස්සා. එතකොට රෑ 8.30ට විතර ඇති. මම මාවනැල්ල ඔරලෝසු කණුව ගාව හිටිගෙන හිටියා. ව්‍යාපාරික මහත්තයා තමයි මට එතැන ඉන්න කීවේ. එතැන ටික වෙලාවක් ඉන්නකොට කාර් එකක් ඇවිත් නැවැත්තුවා.
මම ඒ කාර් එකේ කවුද ඉන්නේ කියලා දන්නෙ නැහැ. නමුත් එතැන හිටපු කෙනෙක් මගෙන් ඇවිත් ඇසුවා මේ ඔය හාමුදුරුවෝද අර බයිසිකලයේ ලියුමක් ගන්න හෙම්මාතගම යන්න ඉන්නේ කියලා. මම කිව්වා ඔව් කියලා. එහෙම නම් නඟින්නකෝ කාර් එකට කියල අරගෙන ගියා.

නමුත් අර ව්‍යාපාරික මහත්තයා නෙවෙයි ආවේ. මම හිතුවා එයාගේ අඳුරන කෙනෙක් කියලා. එහෙම නැඟපු කාර් එකේ අරන් ගියා. ටික දුරක් ගිහින් කීවා 'හාමුදුරුවෝ මූණ හරියට පේන්නෙ නැහැනේ කණ්ණාඩිය ගලවන්න' කියලා. මමත් ගැලෙව්වා. ඒ සමඟම මගේ ඇස් කළුපාට රෙදි කැබැල්ලකින් බැන්දා. අත්දෙකත් බැන්දා.
එහෙම කරලා ටික දුරක් යද්දි මට ලීයකින් ගහන්න ගත්තා. මූණට, පිටට, අත්වලට, කකුල්වල ගැහුවා. මූණට අතින් ගැහුවා. එහෙම ගහපු හැම තැනක්ම වාගේ ඉදිමිලා. දැන් හරි කැක්කුමයි. ඇටකටුත් එක්ක රිදෙනවා. ඒ අය මට පිහියකින් ටික ටික ඇනලා කියනවා මේ මොකක්ද කියලා තේරෙනවද කියලා. මම ඒ අය මොනවා කීවත් කතා කළේ නැහැ. මම අවසානයේ බැරිම තැන කීවා අනේ ළමයිනේ මාගේ ගාව සල්ලි නැහැ කියලා. ඔවුන් කීවා නැහැ නොවෙයි තියෙන සල්ලි ගනින්, නැත්නම් මරලා දානවා කියලා.
මම බැරිම තැන කීවා සල්ලි ඉනේ තියෙන්නේ, ගන්නේ කොහොමද, මගේ අත් බැඳලානේ කියලා. පෙන්නපන් අපි ගන්නම් කියලා කීවාට පස්සේ මම සිවුර පාත් කළා. අඳනේ අස්සේ ගහගෙන හිටපු පොලිතින් මල්ලේ ඔතලා තිබුණු සල්ලි ඒ අය ගත්තා. එතැන රුපියල් 1,25,000ක් තිබුණා. ඒ සල්ලි වියදම් වුණෙත් නැහැ. මම එනකොට සල්ලි ගෙනාපු නිසා. ගත්ත සල්ලි සේරම තිබුණේ 5000 නෝට්ටුවලින්.

සල්ලිත් අරන් පාළු ගෙදරකට මාව අරන් ගිහින් කාමරයකට දාලා ‍ෙදාර වහනවා මට ඇසුණා. මම ඒ පාළු කාමරයේ බිම ඉඳගෙන ඉන්නවා. ඒ අය කීවා මුත්‍රා කරන්න ඕනෑ නම් බකට් එකක් දෙන්නම්, ඒකට මුත්‍රා කරන්න කියලා. මාගේ කකුල දික් කරන්න කීවා. මගේ කකුලට ඒක වැදුණා. ඊට පස්සේ කකුල ළඟින් තිබ්බා. ඒ කරලා ඒ අය ‍ෙදාර වහලා යන්න ගියා. පස්සේ වතුර බෝතලයක් ගෙනත් දුන්නා. පාන්දර කිට්ටුව ඇති කියලා මට හිතුණා. මොකද පරිසරයේ සද්දවලින් කුරුල්ලන්ගේ සද්ද වාගේ දේවල් මට ඇසුණා.

එතැන හිටපු එක්කෙනෙක් කීවා තිබහ එනකොට බොන්න එක අතක් ලෙහනවා කියලා. මම ඊට පස්සේ වතුර බීවා. මට හොඳටම වතුර තිබහයි. දානෙ වළඳන්නත් නැහැ. ඒ කුසගින්නත් එක්ක ඒ වතුර ටික තිබහ නිසාම බීවා. ඊට පස්සේ මගේ අත්දෙක ආයෙ බැන්දා. ඊට පස්සේ ඒ අය යන්න ගියා. ඒ ගෙදර කිසිම සද්දයක් නැහැ. මට තේරුණු විදියට මේක කළේ වෙනස් පිරිසක්. ඒ අය කතා කරපු භාෂාව, හැසිරීම වාගේ දේවල්වලින් මට තේරුම් ගන්න පුළුවන්. ඒ වාගේම ඒ අය කවුද කියලා දැක්කොත් මට අඳුනා ගන්නත් පුළුවන්. මම අරන් ගියේ කළු පාට කාර් එකකින්.

පස්සෙ මාව වාහනයකින් ඇස් වහලා ගෙනාවා. ගෙනත් අතුරු පාරක දැම්මා. සිද්ධිය රහසක් ලෙස තබාගන්නා ලෙස තර්ජනය කළා. තොරතුරු හෙළි කළොත් මරනවා කීවා."
උන්වහන්සේ මාවනැල්ලට වැඩම කළේ ඊයේ. සිදුවූ ව්‍යසනය කිසිවකුට නොපවසා මාවනැල්ලේ සිට හෙම්මාතගමට පැමිණි හිමියෝ තමන් මිලයට ගත් යතුරුපැදියේ අයිතිකරු සොයා හෙම්මාතගමින් කුලී ත්‍රිරෝද රථයකින් පල්ලිපෝරුවට ගොස් යතුරුපැදියේ අයිතිකරු මුණගැසුණහ.
යතුරුපැදියේ මුල් හිමිකරු ගමේ පන්සල මාර්ගයෙන් උන්වහන්සේව හෙම්මාතගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රධාන වෛද්‍යතුමන්ගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට රැගෙන ගියහ.

උන්වහන්සේ මාවනැල්ල මූලික රෝහල වෙත රැගෙන යෑමට මත්තෙන් හෙම්මාතගම පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති අශෝක ජයවීර සහ නිලධාරීන්ද පැමිණියහ. මාවනැල්ල මහ රෝහලට උන්වහන්සේව ගිලන් රථයෙන් රැගෙන ගිය අවස්ථාවේ ඒ සමඟ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාද ගියේය. මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයට මේ සම්බන්ධව ඉදිරි පරීක්ෂණ සිදු කරන්නට අවශ්‍ය රාජකාරි කටයුතු භාරකොට මාවනැල්ල රෝහල් පොලිසියද දැනුවත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය සහ මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon