ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනයේ සැකකාර නාගල හිමියන් අතුරුදන් වෙලාද?

  👤  3579 readers have read this article !
By mawbima 2018-01-21

ලංකාවට පමණක් නොව මුළුමහත් ආසියාකරයටම වටිනාකමක් ප්‍රෞඪත්වයක් ගෙන දුන් ගල්ගමුවේ දළ පූට්ටුවා අප අතරින් වෙන්වී මේ වන විට මාස හතරකට ආසන්න කාලයක් ගත වී තිබේ.

දළ පූට්ටුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හත් දෙනෙක් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ඔවුන්ගේ නඩුව මහව අධිකරණයේ ඇසෙමින් පවතී. සැකකරුවන් අතර මුලින්ම අත්අඩංගුවට ගත් දෙදෙනා දළ අලෙවි කිරීමට යෑමේදී වලාන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් දෙදෙනා විය. දළ අලෙවි කිරීමට ගොස් හසු වූ සැකකරුවන්ගෙන් එක් අයෙක් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේරත්ගම ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරියා වූ අසංක සෙනරත් බණ්ඩාරය. අනෙක් පුද්ගලයා මීට වසර පහකට පමණ පෙර ගල්ගමුව ප්‍රදේශයේම නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් සහායකයෙකි. කෙසේ හෝ අදාළ දළ යුගල අලෙවි කිරීමේ කටයුතු සිදු වූයේ පොල්පිතිගම, නිකවැව ප්‍රදේශයේ වූ නාගල රජමහ විහාරස්ථාන භූමියේය. එසේම ගනුදෙනුකරුවන්ට පෙන්වන්නට ගෙනා දළ යුගල සිවුරක දවටා තිබීමත් නිසා සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැක සහිත කරුණු ගණනාවක් පරීක්ෂණ පවත්වන නිලධාරීන් ඉදිරියේ මතුවිය. ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කරමින් යද්දී දැන ගන්නට ලැබුණේ අදාළ ග්‍රාම නිලධාරිවරයා නාගල විහාරස්ථානයේ විහාරාධිපති වූ දළදාගම ධම්මසිද්ධි හිමියන්ගේ පෞද්ගලික රියැදුරු බවය. ඔහු රජයේද වැටුප් ලබමින් රැකියාව කරන අතර තුර හිමියන්ගේද රියැදුරු වශයෙන් වැටුපට රියැදුරු රැකියාව සිදු කරගෙන ගොස් ඇත. නාගල හිමියන් ද ගම්පහ නිකවක්කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි බවටද තොරතුරු මතුව ආවේය. කෙසේ හෝ කරුණු කාරණා එලෙසින් අනාවරණය වෙද්දී නාගල විහාරාධිපති හිමියන් එම විහාරස්ථානයෙන් පිටව යන්නේ කිසිවකුටත් නොදන්වාය. සති පිරිතක් යැයි පවසා විහාරස්ථානයෙන් පිට වූ හිමියන් සම්බන්ධයෙන් නැතත් සැක සංකා මතුව එන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

"මේ පළාත්වල මිනිස්සු මේ ඇතා එක්ක තිබුණ සම්බන්ධෙ දන්නේ අපි විතරයි මහත්තයෝ. හේනකට ගියත් ගෙදරකට ආවත් කවදාවත් හානියක් කරලා නෑ. මේ පළාත්වල සමහර අය ඉන්නවා ඇතාට බීල යන්න කියලා වතුර ටික පවා පුරවලා තියෙනවා ටැංකියට. ඒ විදියටයි මේ ඇතා අපි එක්ක හිටියෙ. අහිංසක සතා. ඇස් දෙකම පේන්නෙ නෑ. අවසානේ තිරිසන්නු ටිකක් එකතු වෙලා දළ දෙකට පෙරේතකමේ මේ අහිංසකයා මැරුවා. ඒ ටිකේම මේ ගල්ගමුවට වැස්සා. හද්දා වැස්සක්. ඒත් වැහැපු එක වැහි බිංදුවක්වත් වැවකට එකතු වුණේ නෑ. අහස පොළව පවා කම්පා වුණා. දැන් වුණ දේවල් වෙලා ඉවරයි. අපිත් බලාගෙන ඉන්නේ දැන් නිලධාරී මහත්තුරු මොනාද මේ ගැන කරන්නෙ කියලා. ගෝල බාලයෝ සේම හිරේට ගියා. යන්තම් හරි ගෑවිලා තියේනම් නාගල හිමිත් අත්අඩංගුවට ගන්න ඕනෙ නේද. නමුත් උන්වහන්සේ අද වෙනතුරුත් පන්සලේ නෑලු. ඉතිං අපි මේ ලංකාවේ අධිකරණවලින් ඉල්ලා සිටින්නේ මේ සද්ධන්තයා විනාශ කරලා අපිට තිබුණ වටිනා සම්පතක් වුණ ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කරපු උන්ට නිසි දඬුවම් ලබා දෙන්න කියලා" යැයි ගල්ගමුව, කංකානියාගම ප්‍රදේශයේ පුද්ගලයකු අප සමඟ කියා සිටියේය.

කෙසේ හෝ 2017 දෙසැම්බර් මාසයේ මුල් දින කිහිපයේ විහාරස්ථානයෙන් නික්ම ගිය විහාරධිපති හිමියන් තවමත් විහාරස්ථානය පැත්ත පළාතේවත් පැමිණ නැත. උන්වහන්සේගේ ගෝල බාලයයින් රක්ෂිත බන්ධනාගාරයේ උළු කැට ගණන් කරද්දී නාගල හිමියන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ඉන් පසුවය. දළ යුගල ඔතා තිබුණේ සිවුරක නිසාත්, ගනුදෙනුව සිදු කරන්නට නාගල විහාරස්ථානයම යොදා ගත් නිසාත්, දළ ජාවාරමේ ප්‍රධාන සැකකරු නාගල හිමියන්ගේ රියැදුරු නිසාත්, නාගල හිමියන්ද මේ සිද්ධියට සම්බන්ධ වන්නට බැරි නැතැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට වූහ. නමුත් සති පිරිතකට කියා විහාරස්ථානයෙන් පිට වූ හිමි නම අද වන තුරුත් සොයා ගැනීමට පොලිසියට හෝ පරීක්ෂණ පවත්න අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ටවත් හැකියාවක් ලැබී නැත.

දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වමින් නඩු වාර තුනක්ද පවත්වා ඇති අතර එහි සිවුවන නඩු වාරය මෙම මස 23 වැනිදාට සලකා බැලීමට නියමිතව තිබේ. ඒ මහව අධිකරණයේදීය. කෙසේ හෝ පසුගිය 09 වැනිදා නඩුව කැඳවූ දිනයේ සැකකරුවන්ට ඇප ලබා නොදෙන්නැයි ඉල්ලමින් සංඝයා වහන්සේලා කිහිපනමක් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවක්ද සංවිධානය කොට තිබිණි. නමුත් නාගල හිමියන් තවමත් නිදැල්ලේ පසුවෙද්දී උන්වහන්සේගේ ගෝල බාලයන් පමණක් බන්ධනාගාර ගතව සිටීම ගැටලුවකි. ගල්ගමුවේ පමණක් නොව මුළු රට පුරා මිනිසුන් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටින්නේ දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් දළදාගම දම්මසිද්ධි හිමියන් පිළිබඳ කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිදැයි යන්නය. මේ වන විට එම හිමියන් දකුණු පළාතේ සැඟව ඇති බවටද තොරතුරු වාර්තා වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

කරුණු කාරණා කෙසේ වෙතත් මෙම පරීක්ෂණ සඳහා නාගල විහාරාධිපති හිමියන් සම්බන්ධයෙන් මීටත් වඩා අවධානයක් යොමු කළ යුතුවේ. දළ පූට්ටුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු කවුරුන්ද යන්නත් මෙම අහිංසක හස්ති රාජයා ඝාතනය කර ඒ දළ යුගල සොරා ගන්නට අනුබල දුන්නේ කවුරුන්ද යන්නත් පරීක්ෂණ පවත්වන නිලධාරීන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඒවා එසේ වුවද නාගල හිමියන් සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් රටේ ජනතාව වෙත මතු කිරීම සිදුකළ යුතුව පවතී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon