මෙදා සැරේ ඡන්දෙ දෙන්න ඕනෑ මෙන්න මෙහෙමයි

  👤  3763 readers have read this article !
By mawbima 2018-01-21

ශ්‍රී ලංකාවේ මේ දිනවල දේශගුණික විපර්යාස නිසා සීතල වී ඇත. එහෙත් දේශපාලන විපර්යාසවලින් නම් සමාජය උණුසුම් කරමින් තිබේ. එහි කූටප්‍රාප්තිය හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 10 වැනිදාය.

එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලාංකේය සමාජයට නවමු ලක්ෂ්‍යයක් වන සෙයකි. කොට්ඨාස හෙවත් කේවල හා සමානුපාතික මැතිවරණයක් වීම ප්‍රමුඛ කරුණකි. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත අනුව ඡන්ද කොට්ඨාස මට්ටමින් මන්ත්‍රිවරු 60%ක්ද සමානුපාතික ලෙස 40%ක් ද පත්කර ගැනෙති. එමෙන්ම මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේදී දශක කිහිපයක් පැවැති මනාප ක්‍රමයද අහෝසි වී ඇත. ඒ වෙනුවට ඡන්ද ප්‍රකාශ කෙරෙන්නේ දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලටයි.

බහු මන්ත්‍රි කොට්ඨාස ක්‍රමයක් ක්‍රියාත්මක වීම තවත් විශේෂ ලක්ෂණයකි. කාන්තා නියෝජනය 25%ක් ලෙස නීතිගත කිරීමද මෙවර මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
මෙවර පළාත් පාලන මැතිවරණය දිවයිනේ ස්ථාපිත පළාත් පාලන ආයතන 341 මුළුල්ලේම හෙවත් මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276කදී පැවැත්වෙයි.

කේවල කොට්ඨාස 4,750ක්ද මන්ත්‍රිවරු දෙදෙනෙක් පත් කරන බහු සභික කොට්ඨාස 165ක්ද මන්ත්‍රිවරු තිදෙනෙක් පත් කරන බහු සභික කොට්ඨාස 4ක්ද පවතී. ඒ අනුව කොට්ඨාස මට්ටමින් තෝරන මන්ත්‍රිවරු සංඛ්‍යාව 5092 දෙනෙකි. සමානුපාතික ක්‍රමයෙන් තෝරන මන්ත්‍රිවරුන් ඇතුළුව පත් කිරීමට අපේක්ෂිත සියලු මන්ත්‍රි සංඛ්‍යාව 8293 දෙනකි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයෝ එක්කෝටි පනස් හත් ලක්ෂ හැට දහස් අටසිය හැට හතක් (15,760,867) ලියාපදිංචි වී සිටිති. තැපැල් ඡන්ද අයැදුම් කර ඇති පිරිස 5,59,862 දෙනෙකි. සමස්ත ඡන්ද දායකයන්ගෙන් 64%කට ආසන්න පිරිසක් කාන්තාවන්ය.
පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ජනවාරි 22, 25 සහ 26 තෙදින සිදු කෙරේ. පෙබරවාරි 10 වැනිදා දිවයින පුරා ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව තිබේ. පළාත් පාලන මැතිවරණයේදී අදාළ පළාත් පාලන ආයතනය සඳහා නියෝජිතයකු පත් කරයි. එහෙත් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තම කොට්ඨාසයෙන්, ඉල්ලන අපේක්ෂකයකු තෝරා පත් කර ගැනීම සඳහාය. පෙ.ව. 7 සිට ප.ව. 4 දක්වා ඡන්ද ප්‍රකාශ කළ හැකිය.
ඡන්ද පත්‍රිකාව සකස් කර ඇත්තේ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමත්, ඊට අදාළ ලකුණත් වශයෙන්ය. සිංහල හෝඩියේ අකාරාදි පිළිවෙළට එම දේශපාලන පක්ෂද ඉන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් ද වෙයි. ඡන්දය ලකුණු කළ යුත්තේ එම ඡන්ද පත්‍රිකාවේය. ඒ සම්බන්ධව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ සඳහන් කරයි.

මෙවර ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන්ට නිකුත් කෙරෙන ඡන්ද පත්‍රිකාවේ තරග කරන පක්ෂවල නම් සහ ඊට අයත් සලකුණුද ස්වාධීන කණ්ඩායම් තරග කරන්නේ නම් ස්වාධීන කණ්ඩායම යන වචනයද එය හඳුනාගැනීමේ අංකය හා සලකුණුද පමණක් මුද්‍රණය කර තිබෙනවා. අපේක්ෂකයන්ගේ හෝ කොට්ඨාසවල නම් හෝ අංක එහි සඳහන් වෙන්නෙ නැහැ. ඡන්දය ප්‍රකාශ කිරීමේදී කැමැති පක්ෂයේ නම, සලකුණ හෝ කණ්ඩායම යන වචන, හඳුනා ගැනීමේ අංක හා සලකුණු ඇති තීරුවේ සලකුණට දකුණින් ඇති ඉඩ කොටසේ එකම එක කතිරයක් (×) සලකූණු කළ යුතුයි. ඡන්ද පත්‍රිකාවේ වෙනත් කිසිම සලකුණක් යෙදීමෙන් වැළකී සිටිය යුතුයි.
බහු සභික ආසන කොට්ඨාස සඳහාද වලංගු වන්නේ එම තත්ත්වය පමණි. පක්ෂ දෙකකට හෝ තුනකට ඡන්දය ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවේ.
පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ගණන් කිරීම වෙනදා මෙන් දිස්ත්‍රික් මට්ටමින් නොකරයි. ඡන්ද කොට්ඨාස කිහිපයක ඡන්ද එක් ස්ථානයකදී ගණන් කොට එම අවස්ථාවේදීම ප්‍රතිඵල දැන ගැනීමට එමඟින් අවකාශ සැලසෙයි.

පළාත් පාලන ආයතනයක නිල කාලය වසර 4කි. කාන්තා නියෝජනය 25%ක පවත්වාගැනීමට මැතිවරණ කොමිසමට අයිතිය සතුය.
එසේ නොවණු අවස්ථාවක අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වුවද හැකි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංයේ නීති නිලධාරිනි නීතිඥ දුලානි ජයතිලක මහත්මිය සඳහන් කරයි.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon