ඔපරේෂන් 2

  👤  3399 readers have read this article !
By mawbima 2018-01-21

"ඉදිරි සති දෙක, හරිම තීරණාත්මකයි. ජනතාවට හිතාගන්න බැරි දේවල් වෙන්නත් පුළුවන්. කොහොම හරි ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධානම පක්ෂ දෙක දරුණු විදියට හැප්පෙන්න ඉඩ තියෙනවා. ඒකෙ ප්‍රතිඵලය හිතාගන්න බැරි දෙයක් වෙන්නත් පුළුවන්. ඒක වළක්වන්න බැරි දෙයක්."
මෛත්‍රි පාර්ශ්වය නියෝජනය කරන, මෛත්‍රි රැකගන්නට සැරසී සිටින අය මෙවැනි අදහසක් පළ කිරීම එකහෙළා බැහැර කරන්නට බැරි තැනක රට තිබෙන්නේය.
දැන් බැඳුම්කර කාල බෝම්බයද සක්‍රියය. එය කොයි වේලේ පුපුරාගොස් කවුරු විනාශ වේදෝයි කියන්නට බැරි තරමට තත්පරයෙන් තත්පරය ගත වෙමින් තිබෙන්නේය. මේ පසුබිම තුළ මෛත්‍රි දේශපාලනික වශයෙන්ද රටේ ජනාධිපති හා ශ්‍රීලනිප සභාපති වශයෙන්ද ප්‍රහාරක ස්ථාවරයකට යමින් තිබීම මේ මතවාදයන් පැතිරීමට අත්තටු ලබාදීමක් වී තිබෙන්නේය.

"සර්.... මංගල, කාන්තාවන්ට මත්පැන් අලෙවිහල්වලින් මත්පැන් ලබාගන්න තිබුණු බාධාව ඉවත් කරලා. රෑ 10 වෙනතුරු බීම හල් අරින්න ඉඩ දීලා. මේක අපේ රටේ සදාචාරයට බලවත් පහරක්. සර්, මේකට ඉඩ දෙන්න එපා! මේ තකතීරු වැඩේ නවත්වන්න!"ය කියා මෛත්‍රිගේ උපදේශකයන් කී පමණින් මෛත්‍රි මංගලගේ ගැසට්ටුව අහෝසි කළේය. ඉන් පසු...

"සර්... ඒ වැඩෙන් ඔබතුමාට ලකුණු වැටුණා. යූඑන්පියට හොඳ කම්මුල් පහරකුත් වැදුණා" කියා පාරම්බෑවේද ඒ උපදෙස් දුන්නු අයම බව සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේය. මෛත්‍රි ප්‍රහාරක ස්ථාවරයකට කැඳවාගෙන යන මේ උපදේශකයන් වරද්දාගත් එක තැනක් ඇත. එනම්, "ජනාධිපති හැටියට වසර 6ක් ඉන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා ජනාධිපති තනතුරේ ඉන්න ගමන් ජනාධිපතිවරණයක් තියන්න ඉඩ ලැබෙනවා. ඒ නිසා ශේ්‍රෂ්ඨාධිකරණයෙන් මතය විමසන්න" යන්නය. මෛත්‍රි ශේ්‍රෂ්ඨාධිකරණයෙන් මතය විමසුවේය. එහෙත් ඔහුට තීන්දුව ලැබුණේ වසර 5ක් ඉන්නටය. මෛත්‍රි අමාරුවේ දැමූ නීති උපදේශකයන් යැයි කියාගත්ත වුන් හා සෙසු විශාරදයන් මේ නිසා ශ්‍රීලනිපයේ දැනුමක් ඇති ප්‍රබලයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

"ජනාධිපති තනතුරේ සිටින කාලය අඩුකර ගන්න ආපු මෛත්‍රි තවත් ඉන්න බැරිද කියල අහන තැනට වැටිලා. එයාට මේකේ තවත් එල්ලිලා ඉන්න හිතිලා"ය කියා ඒකාබද්ධය මෛත්‍රිව පතුරු ගැසුවේ එවරය. මෛත්‍රිව උගුලක දැමූ ශ්‍රීලනිපයේ උපදේශකයෝ තත්ත්වය බැරෑරුම් වීම නිසා බැනුම් අහගත් බවත් කලබලයට පත්වී ගිය බවත් කියැවේ.
තත්ත්වය මෙසේ පෙළ ගැසෙද්දී වසර 6ක් ජනාධිපතිකම දරන්නට සිටි මෛත්‍රිට එය 5කින් අවසන් කරන්නට සිදුවෙයි. ඒ අනුව 2019දී ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.
ඒ අනුව ලබන වසර අගදී ජනාධිපතිවරණයටද මුහුණ දිය යුතුය.

"ජනාධිපතිවරණය කවදා තිබ්බත් ළඟ එන පළාත් පාලන ඡන්දයෙන් මෛත්‍රි දිනලා පෙන්වන්න ඕනෙ. හැබැයි එයාට බෑ මහින්දටත් ඒකාබද්ධයටත් ගහලා ඡන්ද දිනාගන්න. මහින්ද වටේ රැස්වුණේ කැපුවත් අපි ශ්‍රී ලංකාකාරයන්. මෛත්‍රි පක්ෂය දාලා ගිහින් යූඑන්පියත් එක්ක එකතු වෙලා කරපු හානිය බරපතළයි. එහෙම එකේ මහින්දගේ ගොඩේ ඉන්න අය ගන්න අමාරුයි. එහෙම නම් එයාට ගහන්න ඉතුරු වෙන්නේ යූඑන්පියටමයි. දැන් ඔය කරගෙන යන්නෙත් ඒකයි. එකට ඇවිත් එක ගමනක් යන්න ගිය මෛත්‍රි හිටු කියලා යූඑන්පියට බැටේ දෙනවා. ඒක අපට වාසියි." මෙහෙම කියන්නේ ඒකාබද්ධයේ ප්‍රබලයන්ය.
රනිල්ද හිරවී සිටින්නේය. තමන් කොයිතරම් හිරවෙලාද කියනවා නම් ඔහු මෛත්‍රිට බනින්න කටක් අරින්නේ නැත. එහෙත් ඔහු ඇච්චෝ බැච්චෝ දමා මෛත්‍රිට දෙවන්නට පටන් ගත්තේය. ඇච්චන් බැච්චන් මෛත්‍රිට අපහාසාත්මකව පහර ගහන්නට යෑමෙන් දැන් දැන් එජාපයද කලබලයට පත්වී තිබේ. ඒ ගේමත් එහෙම ගහන්නට බැරි බව රනිල් දැනගත් නිසා තක්කු මුක්කු වී සිටින්නේය.

"මොරගහකන්ද හදන්න ගිය ආණ්ඩුවෙන් මට සල්ලි දුන්නේ නෑ"යි මෛත්‍රි මහින්දටද පහරක් දෙමින්.... "හොරුන්ට වංචාකාරයන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා"ය කියා රනිල්ටත් ඔහුගේ ඇච්චන් බැච්චන්ටත් තවත් ප්‍රහාර එල්ල කළේය. ඇතැම් විට මෛත්‍රි දෙපැත්තකින් සිරවී, උපදේශකයන්ගේද බසට නතුවී එසේ කළායැයි සිතන්නට ඉඩ තිබුණත් මේ ක්‍රියා පිළිවෙත ඔහුට ප්‍රතිඵල ගෙන දේ දැයි කියන්නට බැරිය.

ජනාධිපති මෛත්‍රිගේ මෙම හැසිරීම පිළිබඳව මධ්‍යස්ථ මතධාරීන් පවසන දෙයක්ද ඇත.
"ජනාධිපති මෛත්‍රි නරක තැනකට තල්ලු වෙන බව පේනවා. මේ නිසා එතුමා ඇවිත් මුල් මාස කිහිපයේ කරපු හොඳ වැඩත් යට ගිහින් "ශ්‍රී ලංකා එකේ ජනාධිපති" වගේ පේන්න ගන්නවා. 19 සංශෝධනය බලගන්වන්න මෛත්‍රි පෞද්ගලිකවම කැපවුණා. ජනාධිපති ධුරය දැරිය හැකි කාලය වාර දෙකකට සීමා කරගත්තා. විධායක බලතල අහිමි කරගෙන ඒ බලය ව්‍යවස්ථා කවුන්සිලය හා ස්වාධීන කොමිෂන් සභාවලට බෙදා දුන්නා. ඒ වුණත් මේ අනවශ්‍ය දේශපාලන ගැටුම් නිවැරැදිව කළමනාකරණය කර නොගත්තොත් මෛත්‍රි ජනාධිපති තව තවත් අසරණ වෙනවා. තනි වෙනවා."
මේ මතය පිළිබඳව මෛත්‍රි පාර්ශ්වයේ ප්‍රබලයෝ ඒ හැටි සිතන බවක් පෙනෙන්නට නැත. ඒ ඔවුන් මෛත්‍රි ළඟත් මහින්ද ළඟත් කකුල් දෙකම තියාගෙන ද්විත්ව රංගනයක යෙදී සිටින නිසා විය යුතුයි.

"මේ රටේ මිනිස්සු ඔළුව ඉස්සුවේ බණ්ඩාරනායක යුගයේදියි. අවුරුදු 40කට වැඩි කාලයක් මට හොඳට පුරුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ සිට මට හුරුපුරුදු ජනතාව අමතන්න ලැබීම සතුටක්. ඒ නිසා රටට ජාතියට ආදරය කරන එමෙන්ම දූෂණයෙන්, වංචාවෙන් තොර ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව අද ඇතිවෙලා."

මෛත්‍රිපාල සිරිසේන
2018.01.10
අනුරාධපුරයේදී
මෛත්‍රි, ශ්‍රීලනිපය දිනවන මංගල රැලියේදී එසේ කීවේ දූෂණ චෝදනා එල්ල වී ඇති එජාපය සමඟ තවත් දීගයක් නැතිද? එසේ නැති නම් ඒකාබද්ධයේ අයත් සමඟ දීගයක් නැතිද? කියා නොකියා කීමක් දෝයි විමසන පිරිස්ද බොහෝය. එසේනම් මේ කියන විදියට මෛත්‍රි ගමන් කරන්නට යන්නේ තමන් ළඟ දැනටමත් සිටින, විවිධ චෝදනාවන්ට ලක්වූ ශ්‍රීලනිප ප්‍රබලයන් සමඟින්ද නොවිය යුතුය.
එසේ නම් කා සමඟින් යන යහපාලනයක්ද? පරස්පරය ඇත්තේ එතැනය.

මෛත්‍රි බලයට ගෙන එන්නට තිරය පිටුපස සිට සක්‍රිය මෙහෙවරක් ඉටු කළා යැයි කියන ජ.වි.පෙ. අනුර කුමාරටත් මෛත්‍රිගේ නව ප්‍රවේශය ගැන කියන්නට තිබුණේ මෙවැනි කතාවක්ය.
"ස්වේච්ඡා සේවයක් වුණ දේශපාලනය අද ලාබ ලබන ව්‍යාපාරයක්. හෙරොයින් ජාවාරමටත් වඩා ලාබයි. දේශපාලන බිස්නස්වලට හොඳම උදාහරණය බැඳුම්කර සිද්ධියයි. වසර පහෙන් ගෙදර යනවා කිව්ව ජනපතිත් බිස්නස් එකට අහුවෙලා. තව අවුරුද්දක් පුළුවන්ද කියලා අහනවා."
අනුර කුමාර දිසානායක
2018.01.09
වෙන්නප්පුවේදී
මේ දේශපාලන නාටකයේ කූටප්‍රාප්ති අවස්ථාවක මෙසේ කියැවෙන්නේ ඇයිද යන්න ජනතාවට තවමත් වටහා ගන්නට බැරිව ඇත්තේ කියන කියුම්වලට වඩා එහා ගිය නාටකයක් මේ පිටුපස තිබෙන නිසාවෙන් යැයි පළවන විග්‍රහයන්ද තිබෙන්නේය.
තත්ත්වය මෙසේ පෙළ ගැසෙද්දී මේ කිසිවක් සිදුනොවූ ගානට රනිල්ද තමන්ගේ වෙනසක් නැති බව අඟවමින් බලා සිටින්නේය. එහෙත් එක්සත් ජාතික පෙරමුණ ලැයිස්තුවෙන් තරග වැදුණු අර්ජුන රණතුංග කියන්නේ...
"මේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වීමත් ලැජ්ජාවට කරුණක් වුණා... මේ කාලයේදී තමයි ක්‍රීඩකයන්ට වැඩිම කෙනෙහිලිකම් සිදු වුණේ" කියලාය.
මරික්කාර් කියන්නේ,

"මෛත්‍රි අපේ පිහිටෙන් ජනාධිපති වෙලා දැන් අපටම කෙළින්න හදනවා" කියලාය. මේ සියල්ල අසා මෛත්‍රිද කැබිනට් රැස්වීමෙන් නැඟිට යමින් කියා සිටියේ....
"රවිගේ - මහේන්ද්‍රන්ගේ පත්වීම් කළේ මගේ විරෝධය මැදයි. එදා මං කිව්ව දේ ඇහුවා නම් මේ ප්‍රශ්න වෙන්නෙ නෑ. ඒ නිසා ආණ්ඩුව කරනවද නැද්ද කියලා තීරණය කරන්න" කියලාය.

මෛත්‍රිට ඇතුළතින් මෙන්ම පිටතින්ද එල්ලවන පීඩනයේ තරම ඉන් පැහැදිලිය. ඒ නිසා ඔහු තැනෙක "ඔපරේෂන් 2" පටන් ගත්තා යැයි කී පසු එළැඹි තත්ත්වයේදී "හොරු ඇල්ලීමට කොමිෂන් සභා පත්කරමින් මං කරන්නේ භයානක සෙල්ලමක්"ය කියලාද කීවේය. මීට රනිල්ගේ උත්තරය ඊට අදාළ නොවුණත් කිසිවක් සිදු නොවූ ගානටය.
"සංහිඳියාව ගොඩනැඟීමේ මූලික අඩිතාලම සකස් කර අවසන්. යහපත් දේශපාලන ගමනකින් හොඳ දේශපාලන අස්වැන්නක් ගන්න පුළුවන්."
රනිල් හීනියට එසේ කියා දමද්දී මහින්ද රනිල්වත් මෛත්‍රිවත් එකට එකතු කර සිය මතය ජනතාව අතරට ගෙන යන්නට පසුබට නොවුණේය.
"අවුරුදු 2කට කලින් ඡන්දෙ තියලා මම වරද්ද ගත්තා. මෛත්‍රි 5 ද 6 ද අහලා වරද්ද ගත්තා. මම පැරදුණාට ඒක පරිත්‍යාගයක්. ඒත් ජනාධිපතිට එහෙම නොවෙයි. මෛත්‍රිට දිට්ඨධම්මවේදනීය කර්මය පලදුන්නා."

මහින්ද රාජපක්ෂ
2018.01.15
කඩුවෙලදී
මෛත්‍රිට සටන ඇත්තේ ජවිපෙත් සමඟ නොවේ. මහින්ද හා රනිල් සමඟය. එය අතිශය තීරණාත්මකය. ඉවසිල්ලෙන් කළමනාකරණය කරගත යුතු වන්නේය. එනිසා මහින්දටත්, මෛත්‍රිටත් ශ්‍රීලනිපයේ දිවංගත නායක බණ්ඩාරනායක මහතාගේ කතාවක් මෙහිදී සිහිපත් කර දිය යුතුය.
"දේශපාලකයන්ට කවදත් අමාරු ජීවිතවලට තමයි මුහුණ දෙන්නට සිදුවුණේ. මහජන ප්‍රසාදය කියන්නේ මැනිය නොහැකි දෙයක්. නමුත් ඔබ එය දැන සිටිය යුතුයි. ඒ මත ඔහුගේ සම්පූර්ණ ඉරණම ර¼දා පවතිනවා. එහි අගය අපි කවුරුත් දන්නවා. සමහර විට අන්තිමේදී හොඳක් අහන්න බැරි වෙන්නත් පුළුවන්. තමාව බලයට පත් කරපු ජනතාවගෙන්ම තමන්ට උපහාසයටත්, අවමානයටත් ලක් වෙන්න පුළුවන්. එහෙත් දේශපාලකයා තම කාලය ජනතා සේවයට කැප කරන්න සිතිය යුතුයි. ජිම් බර්ක්, ඩිස්රායල් හා ග්ලැඩිස්ටන් වැනියවුන් තමන් කළ වැඩට පඩියක් පැතුවෙ නෑ. මහජන නියෝජිතයා කුලීකාරයකු විය යුතු නෑ. ඉවසිලිවන්ත නායකයකු විය යුතුයි."
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක


(1931 ජූලි 28දා මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභා කතාවේදී)
මෛත්‍රිටත්, මහින්දටත් පමණක් නොව එය කාට කාටත් වැදගත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon