ඒකාබද්ධ විපක්ෂයේ වෑයම බැඳුම්කරයට මුවා වී ඔවුන්ගේ වංචා දූෂණ අපරාධ වසන් කිරීමයි

  👤  3489 readers have read this article !
By mawbima 2018-01-19

ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්‍ෂයේ සියලු නියෝජිතයන් 17 වැනි දින පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පොරොන්දුවක් ලබාදුන් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.
අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ පක්‍ෂයේ සියලු නියෝජිතයන් වෙත අවවාද ලබාදුන් බවත් ඔහු කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය දා (17දා) වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීයි.

කෙසේ වෙතත් සුසිල් ප්‍රේමජයන්ත් හා ඩිලාන් පෙරේරා වැනි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් දිගින් දිගටම අග්‍රාමාත්‍යවරයා විවේචනය කරමින් අදහස් දැක්වීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බවත් ඊට ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතික පක්‍ෂයටද සිදුවූ බවත් ඔහු කීය. කෙසේ වෙතත් මෙතැන් සිට ජනාධිපතිවරයා විවේචනය නොකර සිටීමට එක්සත් ජාතික පක්‍ෂය පියවර ගන්නා සේම අගමැතිවරයා විවේචනය නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන්ද පියවර ගත යුතු බව ඔහු අවධාරණය කර සිටියේය.

මේ තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන්ගේ හැසිරීම් තුළ ඇති වූවක් බවත් ආරම්භය හා අවසානය කොතැනක වුවද මෙම වාග් ප්‍රහාර එල්ල කර ගැනීම මෙතැන් සිට නවතා දමා යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු යැයිද පැවැසීය.
මෙහිදී මාධ්‍යවේදීන්ගේ විමසීම්වලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
බැඳුම්කර වාර්තාවට අනුව කිසියම් වරදක් සිදුව ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බව අගමැතිවරයාගේත්, කෘත්‍යාධිකාරි මණ්ඩලයේත්, එක්සත් ජාතික පක්‍ෂයේත් ස්ථාවරයයි. ඊට අදාළ නීතිමය කටයුතු සිදු කරන ලෙස අදාළ අංශ වෙත දැනුම් දුන්නේත් අගමැතිවරයාමයි. මෙහිදී කිසිවකු හෝ වීරයන් ලෙස ඉලිප්පීමේ වුවමනාවක් නෑ.
බැඳුම්කර සිද්ධිය ගැන වැඩිපුරම කතා කළේ ඒකාබද්ධ විපක්‍ෂයයි. එහෙත් බරපතළ වංචා සේවීමේ කොමිසමෙන් වැඩිපුරම චෝදනා එල්ල වී තිබෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ උදවියටයි. දැන් බැඳුම්කරයට මුවාවී චෝදනා වසන් කර ගැනීමටයි ඒකාබද්ධ විපක්‍ෂය උත්සාහ කරන්නේ. ජනපති කොමිසමේ වාර්තාවට අනුව සිදුව ඇති අලාභය රුපියල් බිලියන 11යි. එහෙත් පර්පචුවල් සමාගමට අයත් රුපියල් බිලියන 12ක් මහා භාණ්ඩාගාරය තුළ රඳවා තබා ගන්නට රජය පියවර ගෙන තිබෙනවා. එබැවින් යම් අලාභයක් සිදුව ඇත්නම් මුදල් පියවා ගැනීමේ අවකාශය උදාවෙලා තිබෙනවා.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ සමයේ සිදුව ඇති වංචා හා දූෂණවලින් මෙන්ම එම කාලයේ සිදුව ඇති බව කියන බැඳුම්කර වංචාවලින් රටට අහිමි වී ඇති මුදල් රුපියල් බිලියන ගණනක්. එම මුදල් පියවා ගන්නට කිසිදු මාර්ගයක් නෑ. මෑත කාලයේ සිදුව ඇති දේ පිළිබඳ මෙන්ම මේ ගැනත් පුළුල්ව කතා කළ යුතුයි.
ජනාධිපතිවරයා සතුව සඟවා තැබීමට කිසිදු තොරතුරක් නැහැ.

දූෂණ වංචාවලින් තොර රටක් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණයි. ඒ වෙනුවෙන් අපි සහයෝගය ලබාදිය යුතුයි. එමෙන්ම
දූෂණයට එරෙහිව වැඩපිළිවෙළ යටතේ කලබලයට පත්ව සිටින්නේ දූෂිතයන්.
ආණ්ඩුව ඉතා නිවැරැදි ගමනක නිරතව සිටිනවා. රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ... ගීතයට සමාන ලෙසින් වත්මන් රජයේ වැපිළිවෙළද සහයෝගීව ඉදිරියට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon