බැඳුම්කර වංචාවේ පාඩුව සෙවීමට තවත් ජනපති කමිටුවක් පත් කරන්න

  👤  3284 readers have read this article !
By mawbima 2018-01-19

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රටට වූ අලාභය ලෙස ජනපති කොමිෂන් වාර්තාවේ සඳහන් රුපියල් මිලියන 11,500ට අමතරව තවත් රුපියල් මිලියන 6,753ක පාඩුවක් සිදුවී තිබෙන බවත් එය සෙවිමට දෙවැනි ජනපති කොමිසමක් පත් කරන ලෙසත් දූෂණ විරෝධී හඬ පවසයි.
එහි කැඳවුම්කරු, වසන්ත සමරසිංහ මහතා පැවැසුවේ අර්ජුන් ඇලෝසියස් මිලට ගත් බැඳුම්කරවලින් කොටසක් තවමත් අලෙවි කොට නොමැති අතර ඒවා පිළිබඳවද පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

ජනපති බැඳුම්කර වාර්තාවේ සඳහන් නොවන තවත් ගනුදෙනු බොහෝ ප්‍රමාණයක් පවතින බවද සමරසිංහ මහතා කීය.
ඒ මහතා පැවැසුවේ බැඳුම්කර සම්බන්ධ කෝප් කමිටු වාර්තාව වසරකටත් අධික කාලයක් නීතිපතිවරයාගේ මේසය මත තිබෙන අතර එම ආනිශංසයම මෙම වාර්තාවටද සිදුවීම වැළැක්විය යුතු බවය.

එමෙන්ම ලබන පෙබරවාරි 10දා එජාපයේ ජයග්‍රහණයක් ගැන කතා කරන රවි කරුණානායක මන්ත්‍රිවරයා සූදානම් වන්නේ මැතිවරණයෙන් ඔවුන්ගේ බැඳුම්කර හොරකම වසා ගැනීමට බවත්, රුපියල් ලක්ෂ 1650ට නිවාස අල්ලසට ගත් රවි කරුණානායක ඇතුළු එජාපයට ඡන්දය නොදීම ඡන්ද දායකයාගේ ප්‍රබල වගකීමක් බවත් ඔහු පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (18දා) මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මේ ජනපති කොමිෂන් වාර්තාව පෙරේදා මහජනතාව වෙනුවෙන් එළියට දැම්මා. අපි සංවිධානයක් ලෙස මේ වංචාවේ සාක්ෂි, තොරතුරු ඉදිරිපත් කළා. ඒ වගේම කොමිසමේ නිලධාරීන්, ඉතා උනන්දුවෙන් පරීක්ෂණ කටයුතු සිදුකළා. නමුත් වාර්තාව පිටවූ පසු අපිට සැකයක් මතු වෙනවා මහ බැංකුව ජනපති කොමිසමට නිවැරැදි තොරතුරු සැපයුවාද කියන කාරණාව.

මොකද ජනපති කොමිෂන් වාර්තාවේ සඳහන් වෙන්නේ වංචාවෙන් රටට වූ පාඩුව රුපියල් මිලියන 11,500ක් බව. නමුත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් වාර්තාවට අනුව ඔවුන් ලැබූ ලාබය රුපියල් මිලියන 18,253ක්. එහෙනම් ඉතිරි රුපියල් මිලියන 6753ක පරතරයක් තියෙන්නෙ කොහොමද? මහ බැංකුව වහාම මේ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

ජනපති කොමිෂන් වාර්තාවට අනුව 2015 පෙබරවාරි අග සිට 2017 මාර්තු 31 දක්වා මාස 30ට රටට වුණු පාඩුව මිලියන 11,500ක්. නමුත් 2016 අප්‍රේල් 01දා සිට 2017 මාර්තු 31 දක්වා පර්පචුවල් සමාගම රුපියල් මිලියන 6800ට වැඩි ලාබයක් ලබා තිබෙනවා. 2016 සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් දක්වා ලාබය රටට හෙළි කරලා නැහැ. 2017 මාර්තු 31 සිට සැප්තැම්බර් 30 දක්වා මාස 6ක ලාබය මිලියන 316යි.

දැන් මේ මිලියන 11,500 රජයට ගෙවා ඉතිරි මිලියන 6,500ට වැඩි මුදල ඇලෝසියස් තියාගන්නයි උත්සාහ කරන්නේ. එක සතයක්වත් තියාගන්න දෙන්න එපා. රවි කරුණානායක පර්පචුවල් සමාගමෙන් අල්ලස් ගත්තා. එතුමා පහුගිය දවස්වල ජනාධිපති බැඳුම්කර වාර්තාව ගන්න ජනපති ලේකම් කාර්යාලයට ගියා. ඔහු කිව්වා තමන්ට මඩ ගහන්න මේ වාර්තාව යොදා ගෙන කියලා. ඔහුට තව මඩ ගහන්න දෙයක් ඉතිරි වෙලා නෑ. එජාප නායකයාගෙ ඉඳලා කොමිසමට ගියා සාක්ෂි දෙන්න.
මේ කොමිසම් වාර්තාවේ 305 පිටුවේ තියෙනවා කසුන් පළිසේන සහ නුවන් සල්ගාදු අතර දුරකතන සංවාදය. ඒක ඇහුවොත් කොළඹ ඡන්ද දෙනවද නැද්ද කියලා ජනතාවට තීරණය ගන්න පුළුවන්. එහි කියවෙන්නේ රෝසි සේනානායකගේ පුත්‍රයා විසින් ගුණසේකරගේ කෝප් වාර්තාවේ තොරතුරු ඇලෝසියස්ට දුන්නා කියලා. රෝසි සේනානායක ඒ කෝප් කමිටුවේ සාමාජිකාවක්.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon