ඔය කියන තරමේ අර්බුදයක් ආණ්ඩුව ඇතුළේ නෑ

  👤  3292 readers have read this article !
By mawbima 2018-01-19

ඉදිරි මැතිවරණයේදී පළාත් පාලන ආයතනවලට තේරී පත්වන අපරාධ, දූෂණ, වංචා චෝදනා එල්ල වන පුද්ගලයන් ජයග්‍රහණය කොට මන්ත්‍රි පදවි ලැබුවද පක්ෂයේ තනතුරු කිසිවක් ලබානොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පුංචි ඡන්දය වෙනුවෙන් අපේක්ෂකයන් නවදහසක් පමණ සිටින බවත් දූෂිතයන්ට නාමයෝජනා දීම තම පක්ෂය විසින් හැකිතාක් අවම කළ නමුත් තවදුරටත් සිටිය හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය. හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මෙසේද පැවැසීය.

"ආණ්ඩුවේ ප්‍රතිවාදීන් වගේම මාධ්‍ය කියන තරමේ අර්බුදයක් ආණ්ඩුව ඇතුළේ නෑ. රට අස්ථාවර වෙන කිසිම තීන්දුවක් ජනාධිපතිවරයා ගන්නෙත් නෑ. බැඳුම්කර වාර්තාව හදිස්සියේ දාන්න ගිහින් වරද්දගන්න ඕන නෑනේ. මම නම් කියන්නේ රජයේ මුදල් හොරකම් කරන අයට ශරියා නීතිය වගේ තිබුණා නම් හොඳයි. ඒ පිළිබඳ නීති දැඩි කරන්න ඕනේ. ඒ වගේම එවැනි විමර්ශන කඩිනම් කරන්න විශේෂ අධිකරණයක් තිබුණා නම් තවත් හොඳයි. චූදිතයන් මොන රටේ හිටියත් අල්ලගන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර නීතිය කියලා එකක් තියෙනවා නේ. මම නම් කියන්නේ බැඳුම්කර වංචාවේ මුදල් අයකිරීමට පමණක් සීමා නොකර තව දඩයකුත් දාන්න ඕනේ කියලා.
පුවත්පත්වල ප්‍රවෘත්ති දානවා මන්ත්‍රි දීමනා වැඩිකරලා කියලා. ඒක වැරැදියි. මන්ත්‍රි දීමනා නෙවෙයි මැති ඇමැතිවරුන්ගේ වැටුප්වත් අවුරුදු 10කින් විතර වැඩිවෙලා නෑ. විනිසුරුවරුන්ගේ නම් හත් අට වතාවක් වැටුප් වැඩි කළා. මන්ත්‍රිවරුන්ගේ තැපැල් දීමනාවයි වැඩි කළේ. ඒක වැඩි කළේ මන්ත්‍රිවරුන්ට 'ලව් ලෙටර්ස්' ලියන්න නෙවෙයි. අමාත්‍යාංශයට ලිපි ආවම පිළිතුරු යවන්න. මේ අද පත්තරේ දාලා තියෙනවා ('මව්බිම' පුවත්පතේ ප්‍රවෘත්තියක් පෙන්වමින්) මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රිතුමා කියනවා ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි කියලා. ජනාධිපතිවරයාගේ දින 100දී ඇමැතිකමක් ගන්න ඉදිරිපත් වෙලා, ඇමැතිකම පාර්ලිමේන්තු කටයුතු නිසා ඒක මදියි කියලා ගිහින් දෙවනි සැරේට ඇමැතිකමක් දෙන්න අපි ඔහුව යෝජනා නොකළ නිසා ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායමත් එක්ක බොහෝම විරසක වෙලා ඉන්නවා. ආණ්ඩුව ජනතාවගේ කුසගින්න ගසාකනවා කියනවා. ඔවුන් ආණ්ඩුව භාරදෙද්දී හාල් ගබඩාවල පිරී තිබුණලු. එතුමාගේ කාලේ හාල් ගෙන්නුවේ නෑලු. ඔහු කෘෂිකර්ම ඇමැති කාලේ ඔහුට නොදන්වා ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ ඇමැතිවරයා ඒ කාලේ සහල් ටොන් ලක්ෂ දෙකහමාරක් ගෙන්නුවා. ඒකට දැන් නඩුවකුත් යනවා. වඩාත් හොඳ මහත්මා දේශපාලනය තමයි මහින්ද යාපා මන්ත්‍රිවරයා ජොන්ස්ටන්ට එරෙහිව යන නඩුවට ඔහුට එරෙහිව සාක්ෂි දෙන එක.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඡායා - සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon