එක්සත් ජාතික පක්ෂයේ මහනුවර මංගල රැලිය රට හදන්න නම් ගම අපිට දෙන්න

  👤  3435 readers have read this article !
By mawbima 2018-01-19

රට සංවර්ධනය කිරීමට නම් ගමේ බලය එ.ජා.ප.ය වෙත ලබා දෙන්නැයි එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ ඊයේ (18දා) නුවර පොදු වෙළෙඳපොළේදී පැවැති එ.ජා.ප. පළමු මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.
එ.ජා. පක්‍ෂයේ මංගල මහජන ප්‍රචාරක රැලිය එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එ.ජා.ප. සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඇතුළුව එ.ජා.ප. කැබිනට් අමාත්‍යවරුන් සහ එ.ජා. පෙරමුණේ පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සහ අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ගම හදන ආණ්ඩුව යන තේමාව යටතේ මෙවර එ.ජා. පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලිය ආරම්භ කළ අතර මෙහිදී මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ ප්‍රචාරක රැලියකදී සහභාගි වන පාක්‍ෂිකයන් වෙත නොමිලේ වයිෆයි ලබාදීමටද පියවර ගෙන තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ:
වසර 2003දී මේ රටේ අගමැතිවරයා ලෙස මම මහනුවරයි, කොළඹයි අතර අධිවේගී මාර්ගය හදන්න යෝජනා කළා. පසුව අපි ඡන්දයෙන් පැරදුණා. පසුව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වුණා. වසර 09ක් රට පාලනය කළා. නමුත් ඒ අධිවේගී මාර්ගය ඉදිකිරීමට බැරි වුණා. මම 2015දී මෙම ස්ථානයේදීම කිව්වා මේ අධිවේගයේ වැඩ පටන් ගන්නවා කියලා. ඊළඟ මහ මැතිවරණයේදී මේ මාර්ගයේ වැඩ ටික මම අවසන් කරනවා කියලා.
ඒ වසර 09 තුළදී මහනුවර අධිවේගී මාර්ගය ඉදිකළේ නැහැ. ආර්ථිකය කඩා වැටුණා. අපිට මේ රට භාර ගන්නා විට භාරගන්න වුණේ ණය බරෙන් එදා මහින්ද රාජපක්‍ෂ ඡන්දයට ගියේ ණය කන්ද නිසයි. එයා හිතුවා අපේ ආණ්ඩුවත් ණය ටික ගෙවාගන්න බැරුව ගෙදර යයි කියලා. නමුත් අපි අපිට පුළුවන් විදියට අපි මේ වසර තුන ඇතුළතදී ආර්ථිකය ගොඩනැඟුවා.
අපි මේ රටේ නිදහස ඇති කළා. අද මාධ්‍ය අපි කළේ මොනවද කියලා. මම කියන්න කැමැතියි දැන් මාධ්‍යට එහෙම අහන්න පවා නිදහස ලැබුණේ අපි ලබාදුන් ඒ නිදහස නිසයි. දැන් සුදු වෑන් එන්නේ නැහැ.
පසුගිය ආණ්ඩුව නැව් නැති වරායක් අපිට දුන්නා. අපි ඒ ණය ටිකත් ගෙව්වා. ඩොලර් කෝටි 110ක් ලැබුණා. අපි එහෙම කළේ මේ රටේ තරුණ තරුණියන්ට ණය බරින් පිරුණු රටක් ඉතිරි කර දෙන්න බැරි නිසා.

දකුණේ අධිවේගී පාරවල් හැදුවට ඒවායේ ණය ගෙවූයේ අපි. ගොඩනැඟිලිවල ණය ටික ගෙව්වේ අපි. අපි ඉදිරියේදී මේ රටේ තව තවත් සංවර්ධන වැඩසටහන් රැසක් කරනවා.
මේ වනවිට විදේශ ආයෝජකයන් අපි කෙරේ විශ්වාසය තබා තිබෙනවා. ගිය වසරේ පමණක් ඩොලර් මිලියන 150ක ආයෝජන ලැබුණා.
ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට නම් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ගමේ බලයත් අපිට දෙන්න කියලා. අපේ බලය තහවුරු කිරීමට ගමේ බලය අප සතු විය යුතුයි. ජාතික මට්ටමේ වගේම ගමත් දියුණු කිරීමට නම් ගමේ බලයත් අප දිනාගත යුතුයි.
ජපානය සමඟ අපි කතා කරලා තියෙනවා මේ නගරයේ වෙළෙඳ කලාපයක් බිහි කරන්න. යටිතල පහසුකම් සංවර්ධනය කරන්න.
සුද්දාගේ කාලේදී කොළඹ මහනුවර දියුණු කළා. 1985දී මහවැලිය තුළින් දියුණු කළා. ඊට පසුව මේ වනතුරු එහෙම දියුණුවක් ලැබුණේ නෑ.
අපේ අඩුපාඩුකම් තිබෙන නමුත් අපි ඉදිරියට යනවා.

මුළු රටම ප්‍රගතිය කරා ගෙනයන්න ඔබගේ වටිනා ඡන්දය එ.ජා.ප.යට ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.
එ.ජා.ප. මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් :

විපක්‍ෂයේ අය හැමදාම කිව්වේ බැඳුම්කරේ ගැන. උදේ ඉඳන් රෑ වෙනකම් කතා කළේ මේ ගැන. නමුත් එයාලා කවුරුවත් ප්‍රාදේශීය සභාවේ ඉදිරි දියුණුව පිළිබඳ කතා කරන්නේ නැහැ. දැන් බැඳුම්කරේ ප්‍රසිද්ධ වෙලා ඉවරයි. එ.ජා.ප.යට ඒ අය කියපු තරම් චෝදනා නෑ කියලා ඔප්පු වෙලා ඉවරයි. රාජපක්‍ෂලා අපිට එල්ල කළ අවිය දැන් මොට්ට වෙලා.
අපි සෝහිත හිමි ගෙනගිය සාධාරණ සමාජය වෙනුවෙන් නායකත්වය දුන්නා. අපිට විවිධ අයුරින් අද මඩ ගහනවා. අපි මේ රටේ දේපොළ විකුණනවලු. අපි මේ රටේ කිසිම රාජ්‍ය දේපළක් විකුණුවේ නැහැ. රාජපක්ෂලා වළ දාපු දේපළ නැවත ගොඩගන්නේ අපියි. ඒ අය ගුවන් සේවයෙන් යට ගහපු මුදලින් අධිවේගීි මාර්ග 05ක් හදන්න තිබුණා. මේවා ඔක්කොම කරලා දැන් වවුලෝ වාගේ කෑගහනවා.

වීදුරු ගෙවල්වල ඉඳන් අපිට ගල් ගහන්න එපා. දැන් රාජපක්ෂලාම රාජ්‍ය දේපළ විකුණන්න කටයුතු කරලා අපිට මඩගහනවා.
අමාත්‍ය රාජිත සේනාරත්න.
අද අපිට රට දුන්නා වගේම මේ ගමේ බලයත් අපිට ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා.
එදා තිබුණේ ශෝචනීය කතාවක්. ඒ අභියෝගයම අපිට අද තියෙනවා. එදා මේ රට විනාශ කළ ඒ රාජපක්ෂ කල්ලිය පසුගිය කාලේ හම්බ කළ මුදල අරගෙන ගම දෙන්න කියනවා. අපි කියනවා අපි ගම දෙන්නේ නෑ. අපි ගමත් ගන්නවා.
එජාප උප සභාපති සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල
මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු තරමක් කළේ දකුණට පමණයි. අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්, සම්මන්ත්‍රණ ශාලා කිසිවක් දෙවැනි අගනුවර වූ මහනුවරට ගෙනාවේ නැහැ. අපිව අමතක කළා. අපි දිහා හැරිලවත් බැලුවේ නැහැ. ඒ නිසා පසුගිය මැතිවරණවලදී අපේ මහනුවර ජනතාව මහින්දට පාඩම් ඉගැන්නුවා.
එ.ජා.ප නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
මේ මැතිවරණය අපේ පක්ෂයට ඉතාම තීරණාත්මකයි. මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කළාම අපිට පුළුවන් පළාත් සභා සියල්ලම විසුරුවා හරින්න. ඊළඟට අපිට අපේම ජනාධිපතිවරයකු පත්කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපේම ආණ්ඩුවක් හදන්න නම් මේ මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කළ යුතුයි. ඒ සටනට අපි සූදානම් වෙමු.
අමාත්‍ය රාවුෆ් හකීම්:

1970 වසරේ සිට ගත්විට පසුගිය වසර තුනේදී පමණයි මේ රටේ කිසිම දේශපාලන ඝාතනයක් සිදුවූයේ නැත්තේ. අපි ගිය වසර 3 තුළදී මොනවද කළේ කියලා අහන අයට මම කියන්න කැමැතියි අපි මේ කාලය තුළ සම්පූර්ණයෙන්ම භීෂණය තුරන් කළා.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි විජය බණ්ඩාර
වනිතා කටයුතු අමාත්‍යාංශය මුලින්ම ආරම්භ කළේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේදී. එ.ජා පක්ෂයේ කාන්තාවන්ට මූලික තැන දෙන මෙවර මැතිවරණයේදී අපි නියෝජනය 25%ක් දක්වා වැඩි කර ලබාදී තිබෙනවා.
මෙහිදී උඩුදුම්බර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන සංවිධායක ගාමිණී සිරි බණ්ඩාර මහතා එජාපය සමඟින් එකතු විය.
ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර,

ගයා ශ්‍රී කාරියවසම් මහනුවර සිට...
ඡායාරූප: කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon