බෝගම්බර බන්ධනාගාර භූමියේ ඇති ගොඩනැඟිලිවල අලුතින් සංස්කෘතික සංචාරක මධ්‍යස්ථානයක් ඉදිකරනවා

  👤  3587 readers have read this article !
By mawbima 2018-01-19

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

මහනුවර බෝගම්බර බන්ධනාගාරය තිබූ ස්ථානයේ ඇති ගොඩනැඟිලිවල අලුතින් සංස්කෘතික සංචාරක මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18දා) මහනුවරදී පැවැසීය.
මහනුවර ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේට ගෙන ගිය පසු බෝගම්බර බන්ධනාගාරයේ සිරමැදිරි සහ ගොඩනැඟිලි සංස්කෘතික සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ඊයේ (18දා) බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
මහනුවර නගරය විශාල කිරීම සහ ගන්නෝරුවේ සිට දිගන ප්‍රදේශය දක්වා දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර නගරයේ ප්‍රධාන සංස්කෘතික සංචාරක මධ්‍යස්ථානයක් ඇති කරන්න කටයුතු කරනවා. අතීතයේ මහනුවර බෝගම්බර වැවක් තිබුණා. පසුව ඒ වැව පුරවලා බන්ධනාගාරයක් හැදුවා.
දැන් බෝගම්බර බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. අප ඒ ගොඩනැඟිලිවල අලුතින් සංස්කෘතික සංචාරක මධ්‍යස්ථානයක් ඉදිකරනවා. මුල් අදියරේ සාමාන්‍ය ජනතාවට ගැවසෙන පොදු ස්ථානයක්, සංස්කෘතික මධ්‍යස්ථානයක්, ආපනශාලා වැනි ස්ථානයක් ඇති කරනවා.

පසුව ඉතිරි කොටස්වල හෝටල් ඇති කරනවා. සංචාරකයන්ට කාලය ගත කරන්න අවශ්‍ය පහසුකම් සලසා දෙනවා. මේ මඟින් ඍජුව සහ වක්‍රව විශාල ලෙස රැකියා ඇති වන ස්ථානයක් බවට මේ ස්ථානය පත් වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයත් සමඟ සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් බවට මහනුවර පත් කරනවා.
උඩරට සංස්කෘතිය, උඩරට කලාව දියුණු කරන කේන්ද්‍රස්ථානයක් බවට මෙම ස්ථානය පත් කරනවා. ඒ සඳහා මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ආශීර්වාදය මතයි ඉදිරි කටයුතු අප සිදු කරන්නේ. මේ සඳහා ජපානයේ ප්‍රතිපාදන සහ සැලසුමකට අනුව ඉදිරි කටයුතු කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ එම්.ඒ. නිශ්ශංක, නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ තුෂාර ස්වර්ණතිලක, ආයෝජන මණ්ඩලයේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon