ගල්ගමුව අන්දරවැව ඉපැරැණි සුසාන භූමියකින් ක්‍රි.පූ. 500ට අයත් අස්ථි කොටස් මතුවේ

  👤  3620 readers have read this article !
By mawbima 2018-01-19

රජරට විශ්වවිද්‍යාලය මඟින් ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ කැණීමකින් සොයාගත් අස්ථි කොටස් කිහිපයක් ක්‍රිස්තු පූර්ව 500ට අයත් බවට ඇමෙරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ ආයතනය කාලනිර්ණය කර තිබේ.

මේ අස්ථි කොටස් හමුවී ඇත්තේ අන්දරවැව ප්‍රදේශයේ ඉපැරැණි සුසාන භූමියක් කැණීමෙනි. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සුසාන භූමියකින් අක්ෂර සහිත මැටි වළං කැබලි තුනක්ද හඳුනාගත් බව පර්යේෂණයේ නියැළි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අංශයේ ආචාර්ය තුසිත මැන්දිස් මහතා අනාවරණය කරයි. රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අංශය මඟින් මීට මාස කිහිපයකට පෙර අන්දරවැව ප්‍රදේශයේ වනගත වූ අක්කර 14ක පමණ භූමි ප්‍රදේශයක් තෝරාගෙන පුරාවිද්‍යාත්මක පර්යේෂණ ආරම්භ කළේය. පූර්ව ඉතිහාසයට හෙවත් මීට වසර 2800කට පමණ පෙර යුගයට අයත් සුසාන භූමි (මෙගලිතික සුසාන) මේ ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. ඒවා මුල් කරගෙන විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරණ සිසුන් සමඟ ආචාර්යවරුන් මේ පරීක්ෂණයන් ආරම්භ කරන ලද්දේ අනුරාධපුර අගනුවර කේන්ද්‍රස්ථානයට බටහිර හා වයඹ දිශාවෙන් පූර්ව ඓතිහාසික යුගයේ පැවැති සමාජ සංස්කෘතික තත්ත්වයන්, තාක්ෂණය, ග්‍රාමීය සංස්කෘතිය හා විකාශය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහායි.

ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයෙන් පසුගිය මාසයේදී ඇමෙරිකානු පර්යේෂණ ආයතනයට යැවූ අස්ථි කොටස් දෙක ලබාගෙන ඇත්තේ මේ කැණීමේදී හමුවූ සුසාන භූමියක වූ මැටි මුට්ටියක් තුළින්ය. පුරාවිද්‍යාත්මක කාල නිර්ණය සම්බන්ධයෙන් ලොව සුවිශේෂී "බීටා ඇනලිටික්" ආයතනය, ලොව පිළිගත් පුරාවිද්‍යා කාල නිර්ණ ක්‍රමය වන කාබන් 14 (ඛ් 14) පරීක්ෂාව සිදුකර මේ නිර්ණය ලබාදී තිබේ. ඒ අනුව ගල්ගමුව ප්‍රදේශයේ ජනාවාස බුද්ධ කාලයට සමානුපාතික බවට තහවුරු වන බවත් මීට පෙර එවැනිම ජනාවාස පොල්පිතිගම, යාපහුව හා පින්වැව යන යාබද ප්‍රදේශවල ඇති බවට කර තිබූ මුල් හඳුනාගැනීමට මෙම තහවුරුව ගැළපෙන බවත් ආචාර්ය තුසිත මැන්දිස් පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය තුසිත මැන්දිස් මහතා

"මීට පෙර පූර්ව ඓතිහාසික යුගයේ අක්ෂර තිබූ මැටි බඳුන් කැබලි හමුවුණාට සුසාන භූමියකින් එවැනි දෙයක් හමු වී නැහැ. අපට මෙහිදී ලැබුණු මැටි බඳුන් කොටස් තුනක ශ, ත යන බ්‍රාහ්මි අකුරු හමුවුණා. මේ සොයාගැනීම අතිශය වටිනා බව ඒ සම්බන්ධ ප්‍රවීණ මෙරට පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කර සිටියා.

මේ සොයා ගැනීම් දෙකම අසල්වාසී ඉන්දියාවේ සොයාගැනීම්වලටත් වඩා වටිනවා. අනුරාධපුරය ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වශයෙන් පැවැතියද ඊට කිලෝමීටර් 40ක් පමණ බටහිරින් තිබූ ජනාවාසවල තොරතුරු අධ්‍යයනය කිරීමයි අන්දරවැව කැණීමෙන් බලාපොරොත්තු වුණේ. පූර්ව ඓතිහාසික යුගයේ සුසාන පමණක් නොව ඔවුන් සතු දියුණු තාක්ෂණය, සංස්කෘතික ලක්ෂණ ආදී බොහෝ දේ හඳුනාගත්තා. ඒ වගේම අනුරාධපුරයට සිවු දිශාවෙන් සමාන දුරක පිහිටි පර්යන්තයන් පිරික්සීම වටිනවා. යාන් ඔය නිම්නය සේ කලාඔය, මී ඔය ආශ්‍රිත ජනාවාසවල තිබූ ලක්ෂණ හඳුනාගන්නට අපට මෙයින් අවස්ථාව සැලසෙනවා. ඒ වගේම වෙනත් විශ්වවිද්‍යාලයක සිසුන්ට නොලැබෙන පර්යේෂණ අවස්ථාවක් අපේ සිසුන්ට මෙයින් සැලසෙනවා. අපි මේ අක්කර 14ක භූමි භාගයේ ස්ථාන දෙකක කැණීම් ආරම්භ කළා. මෙහිදී බරණි හෙවත් බඳුන්වල භස්මාවශේෂ තැන්පත් කර සැකසූ සුසානවල සාධක සොයාගත්තා. එම යුගයේ මානවයා සතු තාක්ෂණික දැනුම, ලෝහ නිෂ්පාදන තාක්ෂණය, වීදුරු උණු කිරීමේ තාක්ෂණය හා විහාරස්ථාන ගොඩනැඟිලි ගැන අපට සාධක හමු වුණා. එමෙන්ම මේ සොහොන් භූමිය කැණීමෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙතෙක් නොලැබුණු වටිනා තොරතුරු රාශියක්ම අනාවරණය වෙනවා" යැයි තමා විශ්වාස කරන බවද ආචාර්යවරයා පැවැසීය.

අනුරාධපුර -
වික්‍රම රලපනාව

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon