කුලී වැඩ කරලා ජීවත් වෙන කෙහෙල්පන්නල යුවළට සමෘද්ධියවත් ලැබෙන්නේ නෑ

  👤  3513 readers have read this article !
By mawbima 2018-01-19

'පේරාදෙණිය ඉස්පිරිතාලයෙන් කියනවා මගේ වම් උකුල් ඇටය දිරලා කියලා. දැන් අවුරුදු 5ක් තිස්සේ බෙහෙත් බොනවා. කලින් කුලී වැඩ කරලා ජීවත් වුණත් දැන් එහෙම ජීවත් වෙන්නත් බැහැ. මගේ මහත්තයාත් ලෙඩින්. මේ වෙනකොට රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වුණත් අපිට රජයෙන් ලැබෙන සමෘද්ධියත් කපලා දාලා. මේ වෙනකොට අවුරුදු ගාණක් ගත වෙලා ගිහින්" කියමින් අසරණ කාන්තාවක් දෙනෙතේ පුරවා ගත් කඳුළු පිස දමමින් කිහිලිකරුවෙන් අපහසුවෙන් සිටගෙන සිය දුක අපට පැවැසූයේ ඇගේ දෙනෙතින් කඩා හැලෙන උණු කඳුළු පිස දමමිනි.

ඇය ජීවත් වන්නේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කලාපයට අයිති කෙහෙල්පන්නල බටහිර ග්‍රාම සේවා වසමට අයිති කලව්ගහහේන ප්‍රදේශයේය.
ඇය නමින් බී.යූ. බණ්ඩාර මැණිකේයි. වයස අවුරුදු 48ක් වන ඇය විවාහ වී සිටින්නේ ආර්.ආර්. රාජා නමින් හඳුන්වන පුද්ගලයකු සමඟය. විවාහ වුවත් දරුවන් නොමැති මේ අඹුසැමි යුවළ මීට කලින් පදිංචි වී සිට ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේයි. දෙදෙනාම කුලී වැඩ කරමින් හරි හම්බ කරගත මුදලින් කෙහෙල්පන්නල ග්‍රාමයට පැමිණ ඉඩමක් මිලයට ගෙන පැලක් අටවා අපහසුතා මැද ජීවිකාව පවත්වාගෙන ගොස් ඇත.

කෙහෙල්පන්නල ප්‍රදේශයට පැමිණීමෙන් පසුවද සිය ස්වාමියා සුපුරුදු කුලී වැඩපළ කරමින් මුදල් සොයා ගත් අතර ඇයද එම ගම්මානයේම නිවෙසක කුලී වැඩ කරමින් දරුවන් බලා කියා ගනිමින් ජීවිකාව පවත්වාගෙන ගොස් ඇත. ජීවිතයේ බොහෝ කරදර බාධකවලට මුහුණ දුන් මේ දෙදෙනා සිටි කුඩා මැටි පැල වෙනුවෙන් සවි ශක්තිමත් කුඩා පැලක් සාදාදීමට ඇය කුලී වැඩකටයුතු මෙන්ම දරුවන්ද බලා කියා ගත් නිවෙසේ අඹුසැමියන් විසින් සිදුකරදී ඇත්තේ ඇයගේ සහ ස්වාමිපුරුෂයාගේ දුප්පත්කම මෙන්ම අගහිඟකම් සැලකිල්ලට ගෙනය.

ඇය දිනෙන් දින ඇවිද යන්නට බැරි තරම් ඔත්පළ වෙද්දී ජීවිකාව සඳහා වැඩ කළ නිවෙසටද ඇයට සමුදෙන්නට සිදුවූයේ ඇගේ වම් පාදයේ අපහසුව වැඩිවීමත් සමඟය. ඇයගේ පවුලේ අසරණකම අප දැන ගත් පසු එම නිවෙසට යන විටත් ශාරීරික අපහසුකම් කොතෙක් තිබුණත් කඩදාසි බෑග් අලවමින් ඇය පසුවූයේ ජීවත් වෙන්නට ඒ මඟින් හෝ කිසියම් මුදලක් සොයා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි.

ස්වාමියාද ඔහුගේ ඇති රෝගී තත්ත්වය නිසා වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල්ගත කර සිටින බව ඇය අප සමඟ පැවැසුවාය.
ඇයගේ අසරණකම එහි ගිය අපට ඇය හඬා වැලපෙමින් මෙසේ පවසන්නට විය.

මේ ගෙදර අපිට හරිහමන් වැසිකිළියක් නැහැ. මම මේ ගමට ඇවිත් අවුරුදු 12ක් වෙනවා. නමුත් තාම අපිට සමෘද්ධිය ලැබුණේ නැහැ. සමෘද්ධිය ඉල්ලලා හැම කෙනකුටම ලියුම් දාලා තියෙනවා. දේශපාලනඥයන් ගාවට විතරයි ගියේ නැත්තේ. දැන් නම් ඒ කිසි කෙනෙක් ගාවට යන්න බැහැ මගේ කකුල ඔපරේෂන් කරලා නිසා. ඇවිද ගන්නේ හරි අපහසුවෙන්. මේ තරම් අසරණ අපිට රජයෙන් ලැබෙන්න තියෙන සමෘද්ධියවත් නැත්තේ ඇයි කියලා වෙලාවකට කල්පනා වෙනවා. ඒවා දෙන්නේ කාටද? අසරණ අපිට නෙවෙයිද?' කියමින් ඇය හඬා වැටුණාය.

ඇයගේ ලිපිනය හා දුරකතන අංකය පහත දැක්වේ.
බී.යූ. බණ්ඩාර මැණිකේ, කලව්ගහහේන, කෙහෙල්පන්නල. දුරකතන අංකය: 0715416512

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon