ඩෙංගු මාරයා හමුවේ පරාජය වූ රංජලා

  👤  3935 readers have read this article !
By mawbima 2018-01-19

ඩෙංගු මාරයා විසින් මිනිස් ජීවිත අකාලයේ බිලි ගන්නා අමිහිරි පුවත් අප රටේ එතරම් ආගන්තුක නොවේ.
කුඩා දරු සිඟිත්තන් දෙදෙනකුගේ ආදරණීය මව සිය දිවිමඟෙහි 35 වැනි වියට එළැඹ සිටියදී අකාලයේ මරුවා ගෙන ගිය දුක්මුසු සිදුවීමක් පොළොන්නරුවේ ගිරිතලේ වැව පාමුල ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණ.

මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දෙටු දියණිය රංජලා වසන්තනී ගම්ලත් ඉලේපෙරුම (35) මහත්මියයි.

පුලතිසි පුරවරයේ ජන්ම ලාභය ලැබූ රංජලා ගම්ලත් පවුලේ එකම දියණිය වූවාය. ඇයට වැඩිමහල් අයියා කෙනකු සහ බාල මල්ලි කෙනෙකි.
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලද ඇය ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය ලද්දේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සහ ඩික්වින් යන විශ්වවිද්‍යාලවලිනි.
අධ්‍යාපනය නිමවා සිය රට පැමිණි රංජලා විවාහ දිවියට ඇතුළත් වූයේ ව්‍යාපාරිකයකු සමඟය. හෙතෙම තමන් විදෙස් අධ්‍යාපනය ලබන අවධියේ දැන හැඳින පසුව ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගත් උදිත ඉලේපෙරුම මහතාය විය. දෙපිරිසේ මාපිය ආශිර්වාද සමඟින් විවාහ දිවියට පිවිසි උදිත-රංජලා යුවළ සිය ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය වූ අගනුවර පදිංචිය සඳහා ද තෝරා ගෙන තිබිණි.

යුග දිවිය ගත වෙද්දී ඔවුන්ගේ කැදැල්ලට දියණියක් සහ පුතෙක් එක් වූහ.
වැඩිමලා දියණියයි. පස් හැවිරිදි ඇය ආසු ඉලේපෙරුමයි. පුතු කායි ඉලේපෙරුම තවමත් තෙහැවිරිදිය. දියණිය අගනුවර පිහිටි ජාත්‍යන්තර පාසලකට පළමු වැනි ශේ‍ර්ණියට ඇතුළත් කරන ලද්දේ මෙම වසරේදීය. ඩෙංගු උණ වැලඳී වෛද්‍ය ප්‍රතිකාර ලබා සිටි රංජලා මඳ රෝගී තත්ත්වයකින් පසු වුවද එයට වඩා වැඩි සැලකිල්ලක් දක්වා ඇත්තේ දියණිය පාසලට ඇතුළු කිරීම වෙනුවෙනි. ඉකුත් සතියේ යෙදී තිබූ එම කටයුතුවලට බව ද කියති. ඇගේ සැමියා උදිත ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශගතව සිටීම නිසා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබූ බවක් ද අපට අසන්නට ලැබිණි. කෙසේ වුවද රංජලා තම උණ රෝගී තත්ත්වය උත්සන්නව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට ඇත්තේ සඳුදා (15දා) දහවල් කාලයේයි. එහිදී වෛද්‍යවරුන් රංජලාට ප්‍රතිකාර ලබා දුන්නද සුවයක් නොලද හෙයින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ තිබේ. එහෙත් එම සියලු වෑයම් ව්‍යර්ථ කරමින් පසුදා (16දා) අලුයම් කාලය එළැඹෙත්ම ඇගේ දිවි ගමනෙහි අවසන් හෝරාව ද එළැඹී ඇත.

අකාලයේ දිවිමඟෙන් සමුගත් රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මියගේ නිසල දේහය පසුගියදා (16දා) පස්වරුවේ පොළොන්නරුව ගිරිතලේ පිහිටි ගම්ලත් පවුලේ නිවෙස වෙත ගෙන එනු ලැබීය.

ඇයට අවසන් බුහුමන් දක්වන්නට එතැන් සිට මහා සෙනඟක් එම නිවෙස වෙත ඇදී එනුයේ දිවා රෑ නොබලාය.
තම මවට අත් වූ මෙම දුක්මුසු ඉරණම ඇගේ කුඩා දරු දෙදෙනා තවමත් හරි හැටි නොදන්නා තරම් වන අතර සැමියා උදිතට මේ සිදුවීම් තවමත් සිහිනයක් මෙනි.
පුලතිසි පුරවරයේ ජනයාගේ විවිධ දුක් දෝමනස් තමන්ගේ ලෙස එකසේ විඳ ගනිමින් විසල් මහජන සේවාවක නිරතව සිටින ප්‍රකට සමාජ සේවකයකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රි සිරිපාල ගම්ලත් මහතාටත් එම මහත්මියටත් පැමිණි අහඹු දුක වාවා ගන්නට නොහැකිව හඬා වැටෙන අයුරු බොහෝ දෙනාගේ දෙනෙත් කඳුළින් තෙත් කරවන්නකි.

කදුරුවෙල - විපුල් ප්‍රියන්ත

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ
ඡායාරූප - හිඟුරක්ගොඩ ප්‍රියා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon