ඡන්දයට කලින් විසඳුමක් නොලැබුණොත් දැඩි ක්‍රියාමාර්ගයකට යනවා

  👤  3756 readers have read this article !
By mawbima 2018-01-19

හර්ෂණී අර්සකුලරත්න

විදුලි සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසඳුමක් පළාත් පාලන මැතිවරණයට පෙර නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අවධාරණය කරයි.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ පෙරේදා (17දා) පහර දීම සම්බන්ධවත් තම වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසත් ඉල්ලා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිත පිරිසක් ඊයේ දහවල් විදුලිබල මණ්ඩල මධ්‍යස්ථානයේ සිට අගමැති කාර්යාලයට ගොස් තම ඉල්ලීම් අඩංගු සන්දේශයක් අගමැතිවරයාට ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකුට භාර දුන්හ.

ලංකා විදුලිබල මණ්ඩලය තුළ 2015දී ස්ථාපනය කරගත් "ඊ ස්කේල්" වැටුප් කාණ්ඩය අහෝසි කරන ලෙසත් 1979 සිට ලංවිම තුළ පැවැති වැටුප් තලයන් වෙනුවට ඉන්ජිනේරු සේවා සහ උපකාරක සේවා ලෙස සේවකයන් කාණ්ඩ කොට වැටුප් වර්ධක හා වෙනත් හිමිකම් කප්පාදුවට ලක් කිරීම නවතා දමන ලෙසත් ලංවිම තුළ පවතින දූෂණ හා වංචා නවතා දමන ලෙසත් බල කරමින් ලංවිම වෘත්තීය සමිති පෙරේදා (17දා) එහි මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව ලංවිම සභාපතිවරයා කාර්යාලය තුළ සිර කර ගනිමින් එම විරෝධතා ක්‍රියාමාර්ගය දැඩි කළහ. අනතුරුව පෙරේදා රාත්‍රියේ එහි පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ පිරිසක් එම සභාපතිවරයා නිදහස් කර ගනු ලැබීය. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ තමන්ට පහර දුන් බව ලංවිම වෘත්තීය සමිති සඳහන් කරයි.

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 30කට අධික පිරිසක් එක්ව සිදු කළ අඛණ්ඩ උද්ඝෝෂණය තාවකාලිකව නතර කිරීමට ඔවුහු ඊයේ සවස කටයුතු කළහ. එහෙත් විසඳුමක් නොලැබුණේ නම් පෙබරවාරි මුල් සතියේ වෘත්තීය සමිති එක්ව සාකච්ඡා කිරීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම වෘත්තීය සමිති සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් විසමතාවන්ට ලබාදිය හැකි හොඳම විසඳුම ලබා දීමට පියවර ගන්නා බවත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණ හෝ වැඩවර්ජන සිදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවත් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කර සිටියේය. විද්වත් කමිටුවක් මඟින් වැටුප් විසමතා පිළිබඳ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් දෙන බවද හෙතෙම කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon