අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

  👤  3455 readers have read this article !
By mawbima 2018-01-19

ලංකා විදුලිබල සමාගමට ඉඩම් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවලට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වැළැක්වීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් සහ අයට මාර්තු මස 8දා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18දා) සිතාසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විත්තිකරුවන්ට මෙම සිතාසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම මඟින් අධිකරණයට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය මඟින් සඳහන් කර තිබෙන්නේ, සීමාසහිත ලංකා විදුලිබල සමාගමට ඉඩම් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම ස¼දහා 2009 වසරේ සිරිපාල ජයලත් කමිටුව සහ 2010 වසරේ රත්නපාල ඩයස් යන කමිටුවලින් මෙම සිද්ධියේදී අක්‍රමිකතා සිදුව ඇති බවටත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීති පියවර ගත්තැයි නිර්දේශ කරමින් වාර්තා නිකුත් කර තිබූ බවයි.

එම වාර්තාව ප්‍රකාරව සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව අපරාධමය නීති ක්‍රියාමාර්ග ගැනීම එවකට නීතිපති ලෙස කටයුතු කළ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සහ එම වකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කළ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු නවාස් යන අය විසින් ක්‍රියාමාර්ග ගැනීම වළක්වා ඇතැයිද චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පොදු දේපළ සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්ව තිබියදී එම පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීම නුසුදුසු බවට පොලිසියට උපදෙස් දීම තුළින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ විනිසුරු නවාස් යන අය විසින් අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදුකර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ගොනුකර තිබූ චෝදනා පත්‍රයේ සඳහන් වේ.


විත්තිකරුවන් 2010 වසරේ දෙසැම්බර් මස 1දා සහ එම මස 31දා දක්වා කාල සීමාව තුළ මෙම වරද සිදුකර ඇති බවට එම චෝදනා පත්‍රවල වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 20 දෙනකු නම් කර සිටින අතර නඩු භාණ්ඩ 19ක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon