විදුලිබල මණ්ඩල සභාපති පැය ගාණක් කාමර අඩස්සියේ

  👤  3383 readers have read this article !
By mawbima 2018-01-18

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතාට ඔහුගේ නිල කාමරයෙන් පිටතට ඒමට නොදී විදුලි සේවකයෝ ඔහුව එහි රඳවා තබා ගනිමින් ඊයේ (17දා) විරෝධතාවක් පළ කළහ.

ලංවිම මූලස්ථානයේදී සභාපතිවරයාගේ නිල කාමරය වටකොට ඒ අසල අසුන්ගෙන පැය ගණනාවක් පුරා සභාපතිවරයා එහි රඳවාගෙන තිබේ.
විදුලිබල මණ්ඩලයේ 30කට ආසන්න බහුතර වෘත්තීය සමිති නියෝජනය කරමින් සහභාගි වූ විදුලි සේවකයෝ රැසක් එසේ එම විරෝධතාව සඳහා සහභාගි වූහ.
ලංවිම තුළ පැවැති වැටුප් තලයන් වෙනුවට ඉන්ජිනේරු සේවා සහ උපකාරක සේවා ලෙස නව සේවා ඛණ්ඩනයක්් කොට සේවක වැටුප් වර්ධක හා වෙනත් හිමිකම් කප්පාදුවකට ලක් කිරීම හේතුවෙන් උපකාරක සේවා තලය හරහා බහුතර සේවක පිරිස් ගැටලුවකට ලක් කිරීම මේ විරෝධතාව සඳහා බලපෑ ප්‍රධානතම හේතුව වේ.
උදෑසන 11.30 පමණ සිට ලංවිම මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නියුතු වූ උද්ඝෝෂකයෝ ලංවිම තුළ ස්ථාපනය කර ඇති ඊ ස්කේල් වැටුප් කාණ්ඩය නීති විරෝධී වැටුප් වැඩිකර ගැනීමක් බවත් එය වහා අහෝසි කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

විදුලිබල ඇමැතිවරයා ඇතුළු බලධාරීන් එම මූල්‍ය වංචාව නීත්‍යනුකූල කිරීමට හා හොරු ආරක්ෂා කිරීමට උත්සාහ දරන බවට උද්ඝෝෂකයෝ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරනු දක්නට ලැබිණි.

උද්ඝෝෂණය මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙද්දී ලංවිම වෘත්තීය සමිති නායකයන් හා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, සංවර්ධන අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක අතර විදුලිබල අමාත්‍යාංශයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් උද්ඝෝෂකයන් ලංවිම මූලස්ථානය තුළට ගොස් ලංවිම සභාපතිවරයා නිල කාමරය තුළ රඳවා ගැනීමට කටයුතු කර තිබේ.
මේ අතර එම නිල කාමරයේ රඳවාගෙන සිටි සභාපතිවරයාව ඊයේ (17දා) රාත්‍රියේදී පොලිසියේ හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇති බවත් එහිදී ඇතිවූ කලබලකාරී අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී සිටි එම ආයතනයේ සේවක සේවිකාවන් පනහක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවද අනාවරණය වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon