නව ගමනක් යන්න ගිය ලංකාව පැරැණි ප්‍රතිඵලයෙන්ම වැඩ අරඹයි

  👤  3339 readers have read this article !
By mawbima 2018-01-18

සිම්බාබ්වේ කණ්ඩායමේ සාර්ථක පිතිකරණය හා පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන්ම ලකුණු 12ක පරාජයක් අත්වූ අතර මෙම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පිට පිටම ලැබූ තෙවැනි පරාජය විය. ශේ‍රරී බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස්ගේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර අවසානයේ කඩුලු 6කට ලකුණු 290ක් රැස් කළ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 291ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 278ක් පමණි.

පිළිතුරු ඉනිමට ලකුණු 291ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන උපුල් තරංග හා කුසල් පෙරේරා පළමු කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් ගොඩනැඟීය. ලකුණු 11ක් ලබා සිටියදී කයිල් ජාවිස් ගේ පන්දුවක් හමුවේ පීටර් මූවර් වෙත උඩ පන්දුවක් ලබාදුන් උපුල් තරංග ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර සුපුරුදු පරිදි අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ටෙන්ඩායි චටාරාගේ පන්දුවක් හමුවේ නායක ක්‍රීමර් වෙත උඩ පන්දුවක් ලබාදී ලකුණු නොලබාම දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

කුසල් සමඟ එක්වූ නායක ඇන්ජිලෝ මැතිව්ස් තෙවැනි කඩුල්ලට ලකුණු 85ක සබඳතාවක් ගොඩනඟමින් සිටින විටදී රාසා ගේ පන්දුවක් හමුවේ උඩපන්දුවක් ලබාදීමෙන් කුසල් දැවී ගියේය. තම එක්දින දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කළ කුසල් ලකුණු 80ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් සහ මැතිව්ස් සිවුවැනි කඩුල්ලට ලකුණු 25ක සබඳතාවක් ගොඩනැඟීය. ලකුණු 42ක් ලබා සිටි මැතිව්ස් මුසරබානීගේ පන්දුවකට දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 157කට කඩුලු 4ක්ව තිබිණි.
ලකුණු 34ක් ලබා සිටි චන්දිමාල් 5 වැනි කඩුල්ල ලෙස ජාවිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගිය අතර ස්ටම්ප් කිරීමකට ලක්ව අසේල ගුණරත්න ලකුණු 4කට දැවීයන විට ශ්‍රී ලංකා ඉනිම පරාජයේ අන්තයට සේන්දුවන සේයාවක් පෙනුණි.
තිසර පෙරේරා සහ වනිදු හසරංග 7 වැනි කඩුල්ලට ලකුණු 30ක් එක් කළද වනිදු හසරංග ලකුණු 11ක් ලබා සිටියදී උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. 8 වැනි කඩුල්ල ලෙස අකිල ධනංජය ලකුණු 8කට දැවී ගිය අතර හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා තම එක්දින දිවියේ 8 වැනි අර්ධ ශතකය වාර්තා කර ලකුණු 64ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් ඉතිරිව තිබියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දුෂ්මන්ත චමීර දැවී ගිය අතර පන්දු යැවීමේදී චටාරා කඩුලු 4ක්ද ජාවිස් සහ ක්‍රීමර් කඩුලු 2 බැගින් බිඳ හෙළීය.

සිම්බාබ්වේ ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩනැඟූ අතර තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස්ට උඩ පන්දුවක් ලබා දීමෙන් ලකුණු 34ක් රැස්කර ගෙන සිටි සොලමොන් මීරේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ඉන්පසු පිටියට පිවිසි කේ‍රජ් අර්වින් ලකුණු 2ක් ලබා සිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ මැතිව්ස්ට උඩ පන්දුවක් ලබා දී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. බේ‍රන්ඩන් ටේලර් සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනැඟූ ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්සා තම එක්දින දිවියේ 32 වැනි අර්ධ ශතකය වාර්තා කොට 73කට දැවී ගියේය. බේ‍රන්ඩන් ටේලර් සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 38කට දැවී ගිය අතර මැල්කම් වොලර් ලකුණු 29කට දැවී ගියේය.

සිකන්දර් රාසා තම එක්දින දිවියේ 10 වැනි අර්ධ ශතකය වර්තා කරමින් ලකුණු 81ක් සහ නායක ග්‍රැහම් ක්‍රීමර් ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු යැවීමේදී අසේල ගුණරත්න ලකුණු 37කට කඩුලු 3ක් හා තිසර පෙරේරා ලකුණු 43කට කඩුලු 2ක් බිඳ හෙළීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon