ආණ්ඩුව රටට විහිළු සපයනවා

  👤  3459 readers have read this article !
By mawbima 2018-01-18

වත්මන් ආණ්ඩුව මුදල් ඇමැතිවරයාගේ ආණ්ඩුවක්ද එසේත් නැතිනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ප්‍රශ්න කරයි.

විවිධ හැලහැප්පීම් මැද ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ ඇමැති මණ්ඩලයට සුරසැප විඳීමට අවශ්‍ය නිසා බවත් ශ්‍රී ලනිපය සහ එජාපය සිදු කරනුයේ එකිනෙකා මත යැපීම බවත් ඔහු අවධාරණය කළේය.

ඊයේ (17දා) බොරැල්ල, එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය. මේ ආණ්ඩුව පත්වෙලා තිබෙන්නේ ලෝකයට විහිළු සැපයීමටයි. පාර්ලිමේන්තු මන්ත්‍රි මරික්කාර් කියනවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පික් පොකට් ජනාධිපතිවරයෙක් බව. අගමැතිවරයාගේ අනුදැනුමකින් තොරව මේ වචන භාවිත කරන බව කිසිවෙක් විශ්වාස කරනවාද.

කිසිම රටක පාර්ලිමේන්තු ක්‍රමය තුළ කැබිනට් ක්‍රමය තුළ අපි නොදැකපු දේවල් තමයි දැන් දකින්න තියෙන්නේ. ජනාධිපතිවරයා ඔහුගේම කැබිනට් එකේ ඉන්න බෑ කියලා නැඟිටලා යනවා. මේ ආණ්ඩුව ඇයි මේ විදිහට සමඟියක් එකමුතුකමක් නැතුව තියාගෙන ඉන්නේ. මෙතැන තියෙන්නේ යුද්ධයක්. එකට වැඩකිරීමේ හැකියාවක් කිසිසේත්ම නැහැ.
කැබිනට් මණ්ඩලය කුළල් කා ගැනීමත් ප්‍රශ්නයක් නොවෙයි. අනේ‍යාන්‍ය යැපීමයි මේ ආණ්ඩුවේ අඩිතාලම. රවිගේ සහ මහේන්ද්‍රන්ගේ පත්වීම් කළේ තමාගේ විරෝධය මැද කියලා ජනාධිපති කියනවා. අගමැතිට ජනපති බලතල දුන්නාලු. මේක සිරිසේන මහතාගේ පෞද්ගලික බූදලයක් නොවෙයි. අර්ජුනගේ සහ රවිගේ පත්වීම් කළේ ජනාධිපතිවරයා අතින්මයි. මේ කතා කියලා ජනතාව ගොනාට අන්දවන්න බැහැ.

අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකය ඉදිරියේ හෑල්ලු වෙලා. මුදල් ඇමැති කරන දේ ජනාධිපති දන්නේ නැහැ. එතුමා විධායක ජනාධිපති වුණාට කතා කරන්නේ පොඩි බබෙක් වගේ. මේක මුදල් ඇමැතිගේ ආණ්ඩුවක්ද, සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක්ද. රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න මේ අය කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. මේ දෙපළ තනතුරුවල සිටින තුරු රටේ දැවැන්තම හොරකම කළ පුද්ගලයන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා සුදනා වෙන්න දරන මෙම උත්සාහය සාර්ථක නැහැ.

ඉදිරි සතියේ ලංකාවට පැමිණීමට නියමිත සිංගප්පූරු අගමැතිවරයාට මහ බැංකුව සුද්ද කළ අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට භාරදෙන ලෙස ඉල්ලීමක් කළ හැකියි. නමුත් එලෙස කිරීමට ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ කිසිම සූදානමක් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම
කතානායක කාර්යාලයෙන් කරනු ලැබූ විශේෂ නිවේදනයක් පිළිබඳ අද මාධ්‍ය මඟින් දක්වා තිබෙනවා. එම නිවේදනය තමයි මැති සභා රැස්වීම අවුල් කළේ පෙර සැලසුමක් උඩ බව. එම නිවේදනය ප්‍රකාශයට පත් කරමින් ඒකාබද්ධ විපක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් චෝදනාවේ ඇඟිල්ල දිගු කරනවා. ඉතාම නිරවුල් භාෂාවෙන් කියන්නට ඕන මෙම මාධ්‍ය නිවේදනයට උරුම වූ පිළිකුල් සහගත බවෙන් යුක්තව අපි මෙය බැහැර කරන බව.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් පසුව මිලියන 11,000ක වංචාවක් සිදු වී ඇති බව කීවාට පසුව තවදුරටත් මේ අය චූදිතයන් නොවෙයි. වැරැදිකරුවන්. ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසුව තවදුරටත් එය චෝදනාවක් නොවෙයි. මෙය බරපතළ වැරැද්දක් බවට ඔප්පු වෙලා තිබෙනවා. එහෙම තියෙද්දී අගමැතිවරයාට විශේෂ ප්‍රකාශයක් කරන්න අවස්ථාව දෙනවා සියලු දෙනාගේ විරෝධය මැද. අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයකට ඇහුම්කන් දීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. එය හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ. අගමැතිතුමාට පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව තිබුණා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය උපයෝගි කරගෙන විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට.

දිගින් දිගටම සමෘද්ධි කෘෂි පර්යේෂණ නිලධාරීන් දඩයම් කිරීම ආණ්ඩුව විසින් කරගෙන යනවා. චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා රාජකාරි වෙලාවෙන් පසුවත් මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගි විය නොහැකි බව. මෙවැනි නීතියක් ගෙන ඒම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. අපි ඒ වෙනුවෙන් නීතිය ඉදිරිපිටට යනවා.

ඉෂාරා සිල්වා
ඡායාරූප : තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon