රාජපක්ෂලාට ඉදිරියේදී මැදමුලන ලිපිනය වෙනුවට වැලිකඩ ලිපිනය ලැබෙයි

  👤  3945 readers have read this article !
By mawbima 2018-01-18

2020 වන විට රාජපක්ෂලාගේ ලිපිනය තියෙන්නේ වැලිකඩයි. මැදමුලන ලිපින අහෝසි වෙනවා. ඒ නිසා තමයි රාජපක්ෂලා අපෙත් එක්ක තරහ යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න පසුගිය (14දා) බේරුවලදී කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ බේරුවල ආසන බල මණ්ඩලයේ පසුගිය 14දා බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවය අමතා සේනාරත්න මහතා මෙසේද කීවේය.
රාජපක්ෂලා හිතනවා මේ රටේ ඉන්නෙ තණකොළ කන මිනිස්සු කියලා. යුද්ධය දිනූ නායකයා ජනතාව පරාජය කළා. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ පිරිස සිදු කළ වංචා දූෂණ ජනතාවට තවම අමතක නැහැ. ඩුබායි බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙන්නේ හොරකම් කළ සල්ලි. ඒවා රාජපක්ෂලාගේ පරම්පරාගත සල්ලි නෙවෙයි. රුපියල් බිලියන හතරහමාරක මුදලක් එහි තැන්පත් කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු අප සතුව තියෙනවා. යුක්රේනයෙන් මිග් යානා ලබාගැනීමේ ගනුදෙනුවත් හරිම දූෂිතයි. එය සිදු කර ඇත්තේ රණවිරු රාජපක්ෂයි. දැන් කකුළුවා ඉන්නවා වතුර රත්වෙනකම්. වතුර රත්වුණාම තමයි ප්‍රශ්නය. වංචාවෙන් හා දූෂණයෙන් සොයාගත් මුදල් වියදම් කරලා හොරකම් වහන්න හදනවා. එම නිසයි මෙම ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරන්නෙ. මිග් යානයක් යුක්රේනය ලබාදී ඇත්තේ ඩොලර් මිලියන 7.2කටයි. නමුත් ගිවිසුම්වල සඳහන්ව ඇත්තේ ඩොලර් මිලියන 14.7ක් ලෙසයි. රණවිරු රාජපක්ෂ ඩොලර් මිලියන 7.5ක කොමිස් මුදලක් ලබාගෙන තියෙනවා. මේ ගැන ලසන්ත වික්‍රමතුංග මහතා පුවත්පත්වල ලිපි පළ කළා. මේ වන විට මෙම ගනුදෙනුවේ ගිවිසුම් සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. මුදල් තැන්පත් කරලා තිබෙන්නේ හොංකොං බැංකුවකයි. අපි අඛණ්ඩව ප්‍රකාශ කළා. රාජපකෂලාගේ හොරකම් ගැන කඩිනමින් විභාග කරන්න කියලා. ආණ්ඩුවේ ප්‍රමාදයක් තිබුණා. ඊට හේතු වූයේ හිටපු අධිකරණ අමාත්‍යවරයායි. ඔහු නඩු ප්‍රමාද කළා. ඒ රාජපක්ෂලා සමඟ තිබූ ගනුදෙනුවකයි. එයා දෙකේ කොළේ රාජපක්ෂ කෙනෙක්. කෙසේ වෙතත් මෙම නඩු කඩිනමින් විභාග කරනවා. වසර 2020 වන විට රාජපක්ෂලාගේ ලිපිනය තියෙන්නේ වැලිකඩයි. තංගල්ලේ සහ මැදමුලන ලිපින අහෝසි වෙනවා. එම නිසා රාජපක්ෂලා අපිත් එක්ක තරහයි.

ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යනවා. පවුලේ සියලු දෙනාම හොරකම් කළා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ලිනියර් ඇක්සෙලේටර්වලින්ද රාජපක්ෂ නෝනා හොරකම් කළා. මේ හොරකම ගැන මාධ්‍යයේ කරුණු හෙළි කිරීමෙන් පසු නෙදර්ලන්ත සමාගම එම ටෙන්ඩරය අහෝසි කළා. අලුතින් ටෙන්ඩර් කැඳවා එම උපකරණ ලබාගන්නවා.
වර්තමානයේ බැඳුම්කරය ගැන කතා කරනවා. බැඳුම්කරය ගැන කතා කරන්නේ පට්ට හොරු. එක අමාත්‍යවරයකුගේ බිරිය ප්‍රකාශ කළා එම අමාත්‍යවරයා හොරෙක් කියලා. ඔහුගේ ආදායම ගැන බිරිය කරුණු හෙළි කළා. එවැනි අය තමයි බැඳුම්කරය ගැන කතා කරන්නේ. කළුතර වැල්ලේ සුද්දන්ගේ මුදල් ගත් අය අද කෝටිපතියෝ වෙලා. දැන් බැඳුම්කරය ගැන ජනතා විමුක්ති පෙරමුණත් ලොකුවට කතා කරනවා. එහෙම කතා කරන්න පුළුවන් වුණේ ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක් පත් කළ නිසයි.

අග්‍රාමාත්‍යවරයා එම කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයක් ඉල්ලා සිටියා. මෙම බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව ගැන විවිධ අය විවිධ ප්‍රකාශ සිදු කරනවා. මම ආර්ථික විශේෂඥයන් සමඟ සාකච්ඡා කළ පසු කියා සිටියේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව මෙලෙස ගණනය කරන්න බැහැ කියලා. වර්තමානයේ අට ශේ‍ර්ණිය සමත්වුණ අයත් බැඳුම්කරය ගැන කතා කරනවා. පසුගිය ආණ්ඩු සමයේ හොරකම් රැසක් සිදුවුවත් කොමිසම් ස්ථාපිත කළේ නැහැ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා තල්ගස්ගොඩපිටිය කොමිසම ස්ථාපිත කරමින් එම රජයේ අමාත්‍යවරුන් 4කගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ අල්ලස් ලබාගැනීම හේතුවෙන්. ඉන් පසු කොමිසමක් ස්ථාපිත කර කිසියම් දූෂණයක පරීක්ෂණ පැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයායි. බැඳුම්කර කොමිසමේ සංක්ෂිප්ත වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඇතැම් අය පාර්ලිමේන්තුවේදීත් ගැටුම් ඇති කර ගත්තා. පසුගිය ආණ්ඩු සමයේ හොරකම් රැසක් සිදු කළ මරුසිරාලා හොරකම් ගැන කතා කිරීම හරිම විහිළුවක්. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත්කරන විට මම ඊට විරෝධය පළ කළා. මොකද මම එම පුද්ගලයා ගැන දන්න නිසා. මම අග්‍රාමාත්‍යතුමා සමඟ විශ්වාසයෙන් කටයුතු කරන්නේ. බැඳුම්කර වාර්තාවට අනුව බැඳුම්කරයේ පාඩුව රුපියල් බිලියන 11ක්. නමුත් අපි එම සමාගමෙන් රුපියල් බිලියන 12ක මුදලක් රඳවාගෙන සිටිනවා. එම නිසා ගැටලුවක් නැහැ. නමුත් රාජපක්ෂලා බිලියන ගණන් හොරකම් කර තිබෙනවා. ඒ පිළිබඳවත් තොරතුරු හෙළි වී තිබෙනවා. රාජපක්ෂලා හිතනවා ඇති අපි වැදගත් විදියට කතා කරන කොට අපට පාඩම් උගන්වන්න. නමුත් අපි මෙවර මැතිවරණයෙන් රාජපක්ෂලාට පාඩමක් උගන්වනවා.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon