ජනතාවගේ බලය මැතිවරණ කොමිසමට යට වෙලාද

  👤  3328 readers have read this article !
By mawbima 2018-01-18

මැතිවරණ තේරීම් භාර නිලධාරීන් විසින් විවිධ හේතු දක්වමින් ප්‍රාදේශීය සභා නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව මේ වන විට පෙත්සම්වලින් අටක් අභියාචනා අධිකරණයට යොමු වී ඇත. ඒවා සියල්ලම පාහේ

ප්‍රතික්ෂේප වී ඇත්තේ දිනයක් යොදා නොතිබීම හෝ වැරැදි දිනයක් යෙදීම හෝ ස්ත්‍රී - පුරුෂභාවය වැරැදියට යෙදීම වැනි සරල හේතු මතය. උදාහරණයක් ලෙස මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ ස්ත්‍රී පුරුෂභාවය වැරැදියට සඳහන් කිරීම නිසාය.
නමුත් අදාළ කාන්තාවගේ නම, කාන්තා නියෝජනය විශේෂයෙන් සඳහන් කොට ඇත. ඊට අමතරව ජාතික හැඳුනුම්පත් අංකය මඟින්ද ස්ත්‍රී - පුරුෂ භාවය තහවුරු වේ. ඒ අනුව ස්ත්‍රී - පුරුෂභාවය වැරැදියට සඳහන් කිරීම් මඟින් කාන්තා නියෝජනය වෙනස් වූවා යැයි තර්ක කළ නොහැකිය. එවැනි සුළු වැරැදි මත සමස්ත නාම යෝජනා ලැයිස්තුව ඉතා යාන්ත්‍රික ආකාරයට ප්‍රතික්ෂේප කිරීම සාධාරණීයකරණය කළ හැක්කේ කෙසේද?

ඉහළ උපදෙස් මත අදාළ පටිපාටිය යාන්ත්‍රිකව අකුරටම ක්‍රියාත්මක කළ තේරීම් භාර නිලධාරියා විසින් අදාළ ප්‍රාදේශීය ජනතාවගේ පරමාධිපත්‍ය බලය බරපතළ ලෙස අභියෝගයට ලක්කොට ඇත. ඒ මඟින් අපේක්ෂකයන්ගේ පමණක් නොව ඡන්දදායකයාගේද පරමාධිපත්‍ය බලය උදුරා ගෙන ඇති අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලයේ විකෘතියක්ද ඇති කරයි. සර්වජන ඡන්ද බලය යනු ජනතා පරමාධිපත්‍යයේ මූලිකම සහ වැදගත්ම අංගයක් බවට විවාදයක් නැත.

මහජනයා තමා සතු පරමාධිපත්‍ය බලය, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතනවලට පවරා දෙන්නේ සර්වජන ඡන්ද බලය යොදා ගනිමිනි. ඒ නිසා එම බලය රැකීමට ඒ සියලු ආයතන උපරිමයෙන් බැඳී සිටියි. ඉතා සරල, සුළු හේතුවක් මත එම බලයට යම් ආයතනයක් හෝ පුද්ගලයෙක් විසින් අභියෝග කරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් නොවේද. විශේෂයෙන්ම ඉර හඳ යට ඇති සියලු යුක්තිය සහ ධර්මය ගැන ජනමාධ්‍ය හරහා දේශන පවත්වන බලවත් නිලධාරියකු මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන තත්ත්වයක් තුළ එය වඩාත් කනගාටුදායක වේ.

මැතිවරණ කොමිසමේ පළමු සහ මූලික වගකීම වන්නේ පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කිරීම සහ එම බලය වඩාත් නිවැරැදිව, සාධාරණව සහ යුක්ති සහගතව යොදා ගැනීම සහතික කිරීමය. ඒ සඳහා අදාළ යාන්ත්‍රණය සකස් කිරීම සහ එය අකුරටම මෙහෙයවීම පමණක් සෑහෙන්නේ නැත. ඒ සඳහා දාර්ශනික මඟපෙන්වීම ලබා දෙන ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් හඳුන්වාදීම ද ඉතා වැදගත් වේ. මැතිවරණ කොමිසම මඟින් තම පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඡන්දදායකයෝ බිලියන ගණන් මුදල වැය කරති. එම නිසා මැතිවරණ නීතිවල වගන්ති මඟින් කුමන තාක්ෂණික මඟපෙන්වීමක් ලබා දුන්නද එම නීතියේ මූලික උත්තරීතර අරමුණට අගතියක් නොවන ලෙස එම වගන්ති ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටියි. මැතිවරණ කොමිසම යනු හුදු මෙහෙයුම් සහ නියාමන වගකීමක් පමණක් සහිත ආයතනයක් නොවේ. ඒ මඟින් ඡන්දදායකයාට සහ අපේක්ෂකයාට තම පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම සහ ඊට අවශ්‍ය වන මඟපෙන්වීම සහ පහසුකම් සැලැසීමද සිදු කළ යුතුය.

මැතිවරණ කොමිසම අර්ධ අධිකරණ බලතල සහිත ආයතනයක් වුවද ඊට අධිකරණ බලය හෝ පොලිස් බලය පැවැරී නැත. පොලිසියට වුවද දැන් බරපතළ සමථකරණ වගකීමක් පැවැරී ඇත. ඒ නිසා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින්ද සමථකරණය සහ වැරැදි නිවැරැදි කිරීම් සඳහා පහසුකම් සැලැසීමද සිදු කළ යුතුය. නමුත් එය ඉහළ නිලධාරීන් තම නිල වාහනවලින් බැස ගොස් පාරේ එල්ලා තිබෙන බැනර්, කටවුට් තමා අතින්ම කඩා දැමීම තරම් අලංකාර නැත.
වෙනත් වචනවලින් කියන්නේ නම් ප්‍රතිපත්තිමය වෙනස්කම් කිරීම මහ පාරේදී මහජනයා අත්පුඩි ගසන අලංකාර වැඩතරම් පහසු වන්නේ නැත. කෙසේ වෙතත් බුද්ධිමය දායකත්වය මඟින් ඉටු කළ යුතු දේ සඳහා ශාරීරික මැදිහත්වීමට මෙන් මහජන ඉල්ලීමක් ද නැත. ඒ නිසා මැතිවරණ ක්‍රමය තුළ පවතින මූලික වැරැදි දිගින් දිගටම පවතින අතර ඒ මඟින් දිගින් දිගටම පරමාධිපත්‍ය හෑල්ලුවට ලක් වේ. දේශපාලකයන් විසින් ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක් කරන්නේ පෙරළා එම පරමාධිපත්‍යයටම පින් සිදුවන්නටය. එය ඓතිහාසික සත්‍යයකි. නමුත් දේශපාලනඥයන්ගෙන් වරම් ලබාගන්නා නිලධාරීන්ට පරමාධිපත්‍ය විකෘති කිරීමට අයිතියක් නැත.

සර්වජන ඡන්ද බලය නමැති න්‍යාය අනුව ඡන්දය දීම හෝ ඉල්ලීම් සඳහා අධ්‍යාපන මට්ටම පූර්ව සුදුසුකමක් හෝ කොන්දේසියක් ලෙස යොදාගත නොහැකිය. එවැනි දේ සිදු වූයේ 1931ට පෙර අධිරාජ්‍යවාදී පාලන සමය තුළය. මැතිවරණ නීති හෝ නාම යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පටිපාටි පිළිබඳ අබමල් රේණුවකවත් දැනුමක් නොමැති අයකුට වුවද මැතිවරණයකදී තරග කිරීමට අයිතිය තිබේ. එවැනි අපේක්ෂකයන්ට අවශ්‍ය දැනුම ලබා දීම සහ ඔවුන්ට උදවු කිරීම මැතිවරණ කොමිසමේ මූලික වගකීමක් වේ. තර්කයක් ලෙස ගත් විට එවැනි අපේක්ෂකයකු හෝ කණ්ඩායමක් විසින් සිදු කරන සුළු වරදක් මත ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමට මැතිවරණ කොමිසමට අයිතියක් නැත. එය ඉතා යාන්ත්‍රික සහ නූතන ලෝකයට වලංගු නොවන දරදඬු දුප්පත් පරිපාලන සංස්කෘතියක පමණක් සිදුවිය හැකි දෙයකි.

නමුත් ඉන්දියාව වැනි රටක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තම නිලධාරීන්ට උපදෙස් දෙන්නේ කිසි විටෙක සුළු වැරැදි මත නාම යෝජනා ප්‍රතික්ෂේප නොකරන ලෙසය. සුළු වැරැදි ඇත්නම් ඒවා නිවැරැදි කර ගැනීම සඳහා පූර්ව උපදෙස් දීමටද එම නිලධාරීන් බැඳී සිටියි. උදාහරණයක් ලෙස යම් අපේක්ෂකයකුට තම නාම යෝජනා භාරදීමට පෙර එහි යම් වැරැදි ඇත්ද යන්න දැනගැනීම සඳහා ඉන්දියාවේ මැතිවරණ කොමිසම විසින් පහසුකම් සලසා ඇත. නමුත් එසේ උපදෙස් දෙන්නේ සුළු වැරැදි ඇත්නම් ඒවා නිවැරැදි කර ගැනීම සඳහා පමණි. නාම යෝජනාවල නම් 'ටිපෙක්ස්' දමා මකා ඒ මත වෙනත් නම් යෙදීම අනුමත කරන ලෙස එම නිලධාරීන්ට උපදෙස් ලැබෙන්නේ නැත. එම නිසා එම නිලධාරීන් විසින් අපේක්ෂකයන්ට ලබා දෙන සුළු උපදෙස් මඟින් මැතිවරණයට අපේක්ෂකයන්ට අගතියක් සිදු වෙන්නේ නැත. නමුත් එමඟින් නාම යෝජනා ප්‍රතික්ෂේප වීම අවම වේ. ඉන්දියාවේ පවතින ආකාරයේ දියුණු මැතිවරණ කොමිසමක් අප රටේ ස්ථාපිත කිරීම සඳහා නීතිමය වශයෙන් බාධා නොමැත. එහෙත් නිලධාරීන්ගේ මානසික බාධක ඊට එරෙහිව පවතින ප්‍රධාන පරිපාලන බාධාව බවට සැකයක් නැත.

අප රටේ නිලධාරීන් තමා සම්ප්‍රදායානුකූල නොවන බව පෙන්වීමට මාධ්‍ය මඟින් ප්‍රබල උත්සාහයක් ගත්තත් ඔවුන් ප්‍රායෝගිකව තම කාර්යාලය තුළ හැසිරෙන්නේ 'අති සම්ප්‍රදායානුකූලවය' අප රටේ නිලධාරීවාදී සම්ප්‍රදායන් හෙවත් මනෝභාවයන් නියාමනයට හෝ පාලනයට වැඩි බරක් දක්වයි. ඒ තුළ ඔවුන් සෑම විටම පෙලඹෙන්නේ කෙසේ හෝ වරදක් තිබේ දැයි සොයා බලා මහජන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමටය. ඒ නිසා ඔවුන් වැඩි බරකින් කටයුතු කරන්නේ යමක් ප්‍රතික්ෂේප කිරීමට වැරැද්දක් හෝ හේතු සොයා ගැනීමට මිස වැරැදි සිදු නොවීම සඳහා වගබලා ගැනීමට නොවේ. නමුත් එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේදී සෑම දේශපාලන පක්ෂයක් විසින්ම සිදුකරන බලවත් වරදක් නොසලකා හැරීම හාස්‍යජනක තත්ත්වයකි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ නළුවන් මාධ්‍ය හමුවේ 'සීරියස්' භූමිකාවක් ඉදිරිපත් කළත් එදිනෙදා පරිපාලනයේදී ඔවුන් රඟදක්වන්නේ 'ප්‍රහසන' බව නොකියාම බැරිය. නමුත් රටේ පැත්තෙන් ගත් විට ඒ ප්‍රහසන අවසන් වන්නේ ඛේදවාචකවලින් බවටද සැකයක් නැත. උදාහරණයක් ලෙස මැතිවරණ කොමිසමේ ප්‍රධාන වගකීමක් වන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී එම පක්ෂවල ව්‍යස්ථාවල කුමක් සඳහන් වන්නේ දැයි සොයා බැලීම ඉතා වැදගත් වේ. නමුත් එම ප්‍රධාන වගකීම් නිසි ලෙස ඉටු නොවන බවට ප්‍රබල සාක්ෂි ඇත. මෑතකදී ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමකට අනුව (නඩු අංක - එස්.සී/විශේෂ/03/2014) ඉලංකෙයි තමිල් අරුසු කච්චි එම ව්‍යවස්ථාව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන බරපතළ ලෙස උල්ලංඝනය වේ. එම පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ 1976 වඩුක්කොඩෙයි යෝජනාව තම ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පිළිගන්නා බවය. නමුත් එම යෝජනාව නිශ්චිත ව්‍යවස්ථාවේ ලේඛනගත කොට නැත. එය ඉතා සූක්ෂ්ම උපක්‍රමශීලී කපටි ක්‍රියාවකි.
නමුත් මැතිවරණ කොමිසමේ නිලධාරීන් තමා ලියාපදිංචි කරන පක්ෂවල ව්‍යවස්ථාවන් මඟින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වේ දැයි සොයා බලනවා නම් එවැනි කූට ක්‍රියා හඳුනාගත හැකිය. ඒ අනුව අදාළ නිලධාරීන් විසින් හෝ ආයතනයේ ප්‍රධානියා විසින් වරදක් ඇතැයි හැඟෙන ව්‍යවස්ථා ලේඛන කියවා ඇත්නම් සහ ඒ තුළ සැකකටයුතු හෝ කුතුහලය දනවන යමක් වේ නම් ඒ පිළිබඳව විමසා සිටීමේ හැකියාව ඇත. එනම් එම පක්ෂයේ ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පිළිගෙන ඇති වඩුක්කොඩෙයි යෝජනාව ලිඛිතව ව්‍යවස්ථාවට අමුණා එවන ලෙස ඉල්ලා සිටීමේ හැකියාව ඇත.

විශේෂයෙන්ම වඩුක්කොඩෙයි යෝජනාව මඟින් රට බෙදීම සඳහා මහජනයා පොලඹවන බවට සමාජයේ දැනුවත් භාවයක් තිබෙන බැවින් එසේ විමසා සිටීමේ අවශ්‍යතාව මතු වේ. මැතිවරණ කොමිසම තම වගකීම් හරි හැටි ඉටු කළා නම් එම පක්ෂයට තම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවනු ඇත. එසේ නොමැති නම් එම පක්ෂයේ ලියාපදිංචිය අහෝසි කිරීමට හෝ ඒ පිළිබඳව නීතිපතිගේ මතය විමසා සිටීමට අවශ්‍ය වේ. මැතිවරණ කොමිසමක් තම වගකීම් ඉටු නොකළ බැවින් ඉහත සඳහන් කළ ආකාරයට සාමාන්‍ය පුරවැසියකුට ශේ්‍රෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. එහෙත් යම් තාක්ෂණික ගැටලුවක් මත එම පෙත්සම්
නිෂ්ප්‍රභ විය.

ඒ අනුව දැන් පවතින තත්ත්වය තුළ අද වන විටත් රට බෙදීම සඳහා ඍජුව ජනතාව පොලඹවන ව්‍යවස්ථාවක් සහිත පක්ෂයක ලියාපදිංචිය මැතිවරණ කොමිසම් විසින් පවත්වාගෙන යමින් සිටියි. ඒ මඟින් මේ රටේ ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය වේ. එසේ නම් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ මැතිවරණ කොමිසම විසින්ය. යම් පුරවැසියකු විසින් ඉහත සඳහන් කළ පෙත්සම එහි අඩංගු තාක්ෂණික ගැටලුව නිවැරැදි කොට එය නැවත ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළහොත් මැතිවරණ කොමිසමද වගඋත්තරකාරයකු බවට පත් වේ. එය වළක්වා ගත හැක්කේ මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරීන් විසින් අදාළ පක්ෂයේ ව්‍යවස්ථාව කියවා බලා නිසි පියවර ගැනීම මඟින් පමණි. විශේෂයෙන්ම එම පක්ෂය විසින් ප්‍රාදේශීය සභා මැතිවරණයටද අපේක්ෂකයන් ඉදිරිපත් කොට ඇති බැවින් නාම යෝජනාවල සුළු වැරැදි සෙවීමට පෙර මෙම බරපතළ වරද පිළිබඳව සොයා බැලිය යුතුව තිබිණි. මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරීන් මාධ්‍ය සන්දර්ශන පැවැත්වීම සඳහා වැය කරන කාලයෙන් බිඳක් එම මූලික වගකීම් ඉටු කිරීම සඳහා යෙදවිය නොහැකිද?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon