අසූ අට හැවිරිදි මව කන්න බොන්නවත් නොදී ගෙට දමා ‍ෙදාර වහලා

  👤  3090 readers have read this article !
By mawbima 2018-01-17

කොළඹ - එම්. සී. පෙරේරා

ගුරු මාතාවන් දෙදෙනකු මෙලොවට දායාද කළ අසූ අට හැවිරිදි සිවුදරු මවක අධික කුස ගින්නෙන් හා පිපාසයෙන් ගරා වැටුණු නිවෙසක් තුළ ‍ෙදාරගුළුලා සිටියදී එයින් මුදාගෙන රෝහල්ගත කිරීමේ උතුම් සද්කාර්යයක් බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීහු පෙරේදා (15දා) සිදු කළහ.

බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ ගරාවැටුණු නිවෙසක් තුළ වයෝවෘද්ධ මවක් සිටින බවත් දින කිහිපයක් තිස්සේ නිවෙසේ පිටතින් ‍ෙදාර වසා තිබීමෙන් ඇය පිළිබඳ සොයා බැලීමට හෝ නොහැකි බව වල්ගම ප්‍රදේශවාසීන් බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. ඩබ්ලිව්. එල්. වික්‍රමරත්න මහතාට කරන ලද දැනුම්දීමක් අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා එම පියවර ගෙන ඇත.

ඒ අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති අනූෂා හේමමාලි මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් සමඟ එම නිවෙස සොයා ගිය ස්ථානාධිපතිවරයාට නිවෙසේ ඉදිරිපස ‍ෙදාර සේම පිටුපස ‍ෙදාර ඉබි යතුරුදෙක බැගින් යොදා වසා තිබෙනු දක්නට ලැබී ඇත.
වසා තිබූ එම නිවෙසේ ජනේලයක් හෝ නොවීමෙන් ‍ෙදාරගුළු කැඩීමට ස්ථානාධිපතිවරයා ලබා දුන් නියෝගයෙන් පියවර ගැනිණි.
‍ෙදාරගුළු කඩා නිවසට ඇතුළු වූ පොලිස් නිලධාරීන් එහි අභ්‍යන්තරයේ කිසිදු දෙයක් නොපෙනුණ අතර විදුලි ලාම්පුවක ආධාරයෙන් නිවෙස තුළ සෝදිසි කිරීමේදී කිලිටි වූ රෙදිපිළි අතර කෙඳිරිගාමින් වැතිර සිටි වයෝවෘද්ධ මව දැක ගැනීමට හැකිවී ඇත.
අධික දුර්ගන්ධයක් එම නිවෙස පුරා පැතිරුණු අතර පොලිස් නිලධාරීන් අම්මේ අම්මේ යැයි පැවසීමත් සමඟ මට වතුර ටිකක් වතුර ටිකක් කෙඳිරිලි හඬක් නඟමින් එම මව පැවැසූ බව පොලිසිය කියයි.
වතුර ලබාදී මඳ වේලාවකින් දවල්ට කෑවාදැයි ස්ථානාධිපතිවරයා වයෝවෘද්ධ මවගෙන් විමසීමේදී නැහැ නැහැ මහත්තයෝ මට බත් ටිකක්, බත් ටිකක් යැයි ඉතා අපහසුවෙන් වචන උච්චාරණය කරමින් පැවැසූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම මව හැඳ සිටි කිලිටි වූ වස්ත්‍රය පොලිස් නිලධාරිනියක් විසින් ඉවත්කර වෙනත් ඇඳුමක් ඇන්දවීමට කටයුතු කළ අතර 1969 සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඇය බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර කුසට නිසි ආහාර නොමැතිව දින ගණනාවක් නිරාහාරව සිටි ඇයට මූලික ප්‍රතිකාර ලබා දීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බව පොලිසිය කියයි.

වයෝවෘද්ධ මවගේ දියණියකගේ දුරකතන අංකයක් සොයාගත් ස්ථානාධිපතිවරයා වහා පොලිසියට පැමිණෙන ලෙස කළ දැනුම් දීමක් අනුව ස්ථානාධිපතිවරයා වෙත පැමිණීමෙන් අනතුරුව විශ්‍රාමික ගුරුවරියක් වන තමා වැඩිමහල් දියණි බවත් අනෙක් සහෝදරියන් දෙදෙනාගෙන් අයෙකුද ගුරුවරියක බවත් බාල සහෝදරයකු ඇති බවත් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.
බාල සහෝදරයා මවුපිය දෙදෙනා පදිංචිව සිටි නිවෙස හා ඉඩම විකුණා කුලී නිවෙසට පැමිණි බවත් ඔහු එම මුදල් තමන්ට නොදී තනිවම භුක්ති විඳි බවත් ප්‍රකාශ කර මව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළාය.

මවගේ අගය විශ්‍රාමික ගුරුවරියට පහදා දුන් ස්ථානාධිපතිවරයා තමන්ගේ ආභාසය ලබාගෙන තමන්ගේ දරුවනුත් තමන්වත් කවදා හරි ඔය වගේම නොසලකා හරිවි. ඒ දේ ගැන සිතට ගන්න යැයි පවසා දැඩි අවවාද කර අනෙකුත් සහෝදර සහෝදරියන් සමඟ යළි පොලිසියට පැමිණෙන ලෙස පැවැසීය.
බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. ඩබ්ලිව්. එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ධම්මික නවරත්න, උප පොලිස් පරීක්ෂක අබේරත්න, කෞෂල්‍ය නාකන්දල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අනූෂා හේමමාලි, සැරයන් ප්‍රියංකර (41070), කාන්තා පොලිස් සැරයන් ජානකී (3009) මහත්ම මහත්මීහු සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon