වැලිකතරේ සිත් පිත් නැති මිනිසුන්ගෙන් දිවි බේරාගෙන මවුබිමට පැමිණි දෙදරු මවක්

  👤  3290 readers have read this article !
By mawbima 2018-01-17

බොහෝ අඩුපාඩුකම් රාශියක් මැද ජීවත් වූ ඩබ්ලිව්. එම්. කුමුදුනී පුෂ්පලතා (47) මහත්මිය විදේශ ගත වූයේ තම පවුල වෙනුවෙන් කුමන දුකක් හෝ උසුලමින් වැලිකතරට ගොස් කීයක් හෝ උපයා ගෙන ජීවිතය ගැට ගසා ගැනීමේ අරමුණෙනි. ඒ 2017 වසරේ මැයි මස 18 වැනිදාය. කුරුණෑගල විදෙස් රැකියා ආයතනයකින් සෞදි රටේ ගෘහ සේවය සඳහා ඇය පිටත් කර හැර තිබිණි. තම දරුවන්ගේත්, තමාගේත් ජීවිතවලට පුංචි ආලෝකයක් හෝ ලැබේ යැයි සිතා එදා කටුනායක ගුවන් තොටුපොළින් අහසට නැඟි කුමුදුනීට ඇත්තෙන්ම සිදු වූයේ ඇය සිතූ දේ නම් නොවේ. මේ කුමුදුනීගේ කතාවයි.

'මම ගිය අවුරුද්දේ සෞදි රටට යන්න තීරණය කළේ ගෙදර තිබුණ ප්‍රශ්න ටිකක් හරි අඩුකරගන්න පුළුවන් වෙයි කියලා හිතලා. නමුත් සිද්ධ වුණේ ඒ ප්‍රශ්න තවත් වැඩි වුණ එක විතරයි. මමයි, දුවයි, පුතයි මගේ අම්මයි තමා ගෙදර ජීවත් වෙන්නේ.

පුතා නම් ගාල්ල පැත්තේ රැකියාවක් කරනවා. දුව ඉගෙන ගන්නෙ 9 වසරේ. ඉතිං එයාගේ වියදනුත් දරන්න ඕන නිසා තමා මම රට ගියේ. මම ඒ රටට ගියාට පස්සේ ගෙදරකට දැම්මා වැඩ කරන්න. මාසයක් විතර වැඩ කරගෙන කරදරයක් නැතිව හිටියා. ඊට පස්සෙ තමා ඒ ගෙදර මැඩම් මට නිතර නිතර ගහන්න පටන් ගත්තේ. කොච්චර වැඩ කළත් මදියි කියලා ගහනවා. දවසක් කොන්ඩෙන් අල්ලගෙන මගේ අත්දෙක බැඳලා මූණට ගහගෙන ගහගෙන ගියා. තවත් දවසක් ගෑස් බටයකින් මගේ මුළු ඇඟටම ගැහුවා. හයියෙන් කෑ ගහද්දි තවත් ගහනවා. ඒ විදියට මම සෑහෙන දුකක් වින්දා මහත්තයෝ ඒ ගෙදර. අවසානේ බැරිම තැන මම කිව්වා මට පඩිත් එපා මාව ලංකාවට යවන්න කියලා. ඊට පස්සේ ඒ මැඩම් මාව එහේ තිබුණ ඒජන්සි එකකට ගිහින් දැම්මා. මම ඒ ගෙදර හිටියා මාස 2ක්. එක මාසෙක විතරයි මට පඩි දුන්නේ. ඒජන්සි එකට ආවට පස්සේ ඒකෙ වැඩ කරන්නෙත් ඒ රටේ මිනිස්සුමයි. එතැන හිටියා කාන්තාවෝ විස්සක් විතර. පිලිපීන්, බංග්ලාදේශ් වගේ රටවල අය. ලංකාවේ අයත් නව දෙනෙක් විතර හිටියා. එතැනත් මහත්තයෝ දස වද දෙනවා. ගහනවා. කෑම ටිකක් වතුර ටිකක්වත් දෙන්නෙ නෑ. දුරකතන පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. ඒ විදියට මාස පහක් මම ඒ වධක කාමරේ දුක් වින්දා. අපි කොයිතරම් දුක කිව්වත් ඒ මිනිස්සුන්ට හිතක් පපුවක් නෑ මහත්තයෝ. තවත් ලංකාවේ සෑහෙන දෙනෙක් එතැන දුක් විඳිනවා. පිළිකා තියෙන අය පවා

එතැන ඉන්නවා. මම ලංකාවේ රජයෙන් ඉල්ලන්නෙ එතැන ඉන්න හැම කෙනාම කොහොම හරි ලංකාවට ගෙන්වන්න කියලා. කොහොම හරි මම අද ලංකාවට ඇවිත් ඉන්නවා. එහෙම එන්න පුළුවන් වුණේ සුජීවා මිස්ට පින් සිද්ධ වෙන්න. එයාලගේ වනිතා සංගමයේ මැදිහත් වීම මත තමා මම ලංකාවට අද මේ විදියට හරි ආවේ.'
කුමුදුනී සිය කතාව කියාගෙන යන අතරතුර කඳුළු පිරි දෙනෙතින් මොහොතක් බලාගෙන සිටියාය. ඉන් පසු නැවතත් ඇය හඬ අවදි කළේ මෙලෙසිනි.

'ගෑනු වෙලා ඉපදුණු එක හරි පවක් කියලා මට හරියට තේරුණේ ඒ ඒජන්සි එකට ගිහින් දැම්මට පස්සේ. එතැන ඉන්නවා අපිට වැඩිය ගොඩක් බාල තරුණියෝ. තරුණියෝද වයසක කාන්තාවෝද කියලා වෙනසක් නෑ. උදේම කවුරු හරි ඇවිත් මෙයා දෙන්න කියලා කිව්වොත් කැමැති අකැමැති එක වැඩක් නෑ. අනිවාර්යයෙන් යන්න ඕනේ. ඒ කියන්නේ මුදලට අපිව විකුණනවා. තවත් වෙලාවක ගෙවල්වල වැඩට දාලා ඒ අය අපේ පඩි මුදල් ගන්නවා. ඔය විදියේ ලොකු කරදර ගොඩක් එතැනදී අපිට සිද්ධ වුණා. තවත් වෙලාවකට අපේ ඇඟට ඉන්ජෙක්ෂන් ගහනවා. අපි සිහිය නැතිව වැටෙනවා. ඒ රටවල තවත් තියෙන දෙයක් තමා වකුගඩු ජාවාරම. මේ වගේ ගොඩක් වද වේදනාවන් උහුලගෙන මම ජීවත් වුණේ තවත් ගෑනියකුට මේ වගේ දුකක් කරදරයක් විපතක් වෙන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලගෙන. මොකද අපි එහෙ රටට ගිහින් කීයක් හරි හොයාගන්න හදද්දී අපිට අත්වෙන ඉරණම තමා ඒ. ඊට පස්සේ මම ගිය අවුරුද්දෙම නොවැම්බර් 18 ලංකාවට ආවා. ගෙදර ඇවිත් බලද්දී ගේ ඔප්පුවත් මාව රට යවපු සබ් පුතාට කියලා අරගෙන.

කුමුදුනී විඳින වද වේදනා සම්බන්ධයෙන් ඉතාමත් රහස් ආකාරයෙන් දැනගත්දා පටන් ඇගේ පුතාත් දුවත් නැඟණියත් මවත් සිටියේ දැඩි වේදනාවකිනි. ඇය මෙරටට ගෙන්වා ගන්නට ඕනෑම දෙයක් කරන්නට ඔවහු සූදානමින් සිටියහ. ඒ නිසාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයත්, කුරුණෑගල විදේශ රැකියා ආයතනය මෙන්ම ඇයව පිටරට යැවූ තැරැව්කරු පැවැසූ බොහෝ දේ කරන්නට ඔවුහු සූදානමින් සිටියහ. ඒ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ කුමුදුනීගේ සහෝදරිය වූ ඩබ්ලිව්. පී. අනුලා කුමාරි මහත්මිය කියා සිටියේ මෙවැන්නකි.

'අක්කා ලොකු කරදරයක වැටිලා ඉන්නවා කියලා අපිට එයා දවසක් කතා කරලා කිව්වා. එතැන ඉඳන් අපි දන්න කියන හැමතැනටම ගියා. අක්කා රට යවපු විදේශ සේවා ආයතනය මුණ ගැහිලා මේ සම්බන්ධව අපි කිව්වා. ඊට පස්සේ එයාලා කියනවා ලක්ෂ 9ක් ඕනෙ කියලා. ඊට පස්සෙ අපි විදේශ සේවා එකට පැමිණිලි කරන්න යද්දී එතැන ඉන්න පහළ මට්ටමේ නිලධාරිනියෝ අපිට කියනවා ඔයාලා ඒජන්සි එකත් එක්ක කතා කළා නේද. අපිට ලක්ෂ 5ක් දෙන්න අක්කා ගෙන්නලා දෙන්නම් කියලා. මෙන්න මේ විදියට ගිහින් ලක්ෂ දෙකහමාර වෙනකල් ඒ මුදල අපි අඩු කරගත්තා. අවසානේ ගෙදර තිබුණ ඔප්පුවත් අක්කා රට යවපු තැරැව්කාරයා පුතාව රවට්ටලා අරගෙන. දැන් ඒක තියෙන්නෙ කුරුණෑගල නීතිඥයෙක් ළඟ. ඒ තැරැව්කාරයා පුතාට කියලා තිබුණා අම්මා ගෙනැත් දෙන්නම් ගෙදර ඔප්පුව ඒ මනුස්සයාගේ නමට ලියන්න කියලා. පුතාටත් ඕනේ වුණේ කොහොම හරි අම්මාව ගෙන්න ගන්න. ඒ නිසා පුතා හිස් කොළයක නීතිඥයෙක් ළඟ අස්සන් කරලා. මං අහන්නෙ අපි වගේ අන්ත අසරණ මිනිස්සුන්ගෙන් ඇයි මේ විදියට ගසා කන්නෙ කියලා. නැති බැරිකම නිසා එක එක්කෙනාගේ ඉඳුල් හෝදන්න ගියාට අපිත් හිත් පපු තියෙන සංවේදී මිනිස්සු මහත්තයෝ. විදේශ සේවා එකේ නෝනලා ඒජන්සිකාරයෝ එක්ක එකතු වෙලා අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කනවා. ඉතිං මෙන්න මේකයි අද රටේ තත්ත්වය.'

කෙසේ වෙතත් කුමුදුනී විදෙස් ගත කිරීමට මැදිහත් වූ තැරැව්කරුගෙන් මේ පිළිබඳ අප විමසීමක් කළෙමු. එහිදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.
'මම දැන් මේ රැකියාව නතර කරලා ගොඩක් කල්. අවුරුදු 3ක් විතර වෙනවා. කුමුදුනී රට ගියාට පස්සෙ එයා ගෙන්න ගන්න නම් එයාලා වෙනුවෙන් දරපු වියදම් ආපසු ගෙවන්න ඕනෙ. ඒ සල්ලි තමා විදේශ සේවා එකෙන් ඉල්ලලා තියෙන්නෙ. ඉඩමේ ඔප්පුව තිබ්බෙ එයාගෙ පුතා. මම දැන් ඒ රැකියාව කරන්නෙ නෑ.'
මේ සම්බන්ධව කටයුතු කරමින් කුමුදුනී විදෙස් ගත කළ කුරුණෑගල විදේශ රැකියා ආයතනය හිමිකරුගෙන් මේ සම්බන්ධව විමසා සිටීමේදී ඔහු අප වෙත දක්වා සිටියේ මෙවන් ප්‍රතිචාරයකි.

'තමුසෙලාට ඕනි නම් එනවා මගේ ඔෆිස් එකට. අපිට පිස්සු නෑ ෆෝන්වලින් මේවා කතා කරන්න' යැයි අමතා දුරකතනය විසන්ධි කර දැමුවේය.
කෙසේ හෝ කුමුදුනී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ සංක්‍රමණික සේවකයන් සඳහා වන ක්‍රියාකාරි ජාලයේ කුරුණෑගල ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානයේ නියෝජිත එච්.ඒ. සුජීවා ප්‍රියදර්ශනී මහත්මිය කියා සිටියේ මෙවන් අදහසකි.


'කුමුදුනීගේ නංගි මට අහම්බෙන් වගේ තමා දවසක් දුම්රියෙන් මුණ ගැහිලා මේ ගැන කිව්වේ. ඊට පස්සේ මම අපේ සංගමයේ තවත් නිලධාරීන්ගේ සහයෝගය ඇතිව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරියෙක් විදියට කටයුතු කරන මංගල රන්දෙණිය මහත්තයාගේ උදවු ඇතිව කුමුදුනීව ලංකාවට ගේන්න කටයුතු කළා. පෙරේදත් (14දා) තවත් එක් කාන්තාවක් අපේ මැදිහත් වීමෙන් අපි ලංකාවට ගෙන්වා ගත්තා. ඉතිං මට කියන්න තියෙන්නෙ ඇත්තටම මේ ශ්‍රමිකයන් විදේශගත කිරීමේදී මේ රටේ ඉන්නවා වගකිවයුතු නිලධාරීන් පිරිසක්. විදේශ සේවා එකෙත් ඉන්නවා. එයාලා එකතු වෙලා ඒජන්සිකාරයෝ එක්ක මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බිල්ලට ගන්නවා නම් ඒක හරි කැත වැඩක්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ පවා කරුණු පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මම මේ රජයෙන් ඉල්ලා සිටින්නෙ මීටත් වඩා මේ කාන්තාවන් විදෙස්ගත කිරීම සම්බන්ධයෙන් වගකීමක් ගන්න ඕනෙ. අපේ සංගමේ සත පහකවත් මුදලක් මේ අයගෙන් අරන් නෑ. මේ අයට වියදම් කරන්න දීලත් නෑ. ඒ නිසා විදෙස් විනිමය උපයා ගන්න විතරක් හිතන්නෙ නැතිව මේ අයගේ ජීවිත සුරක්ෂිත කරලා එයාලගේ පවුල්වලට රැකියාවට වගේම ජීවිතයට හොඳ ආරක්ෂාවක් දෙන්න මේ රජයේ වගකිවයුතු බලධාරීන් කටයුතු කරන්න ඕනෙ කියලා මම ඉල්ලා සිටිනවා.

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon