අප ගත් තීරණය ගැන මට කනගාටුවක් නෑ

  👤  3279 readers have read this article !
By mawbima 2018-01-17

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මැතිතුමා දශක හයකට වඩා වැඩි කාලයක් තිස්සේ දේශපාලනයේ නිරතව සිටින රටේ ජේ‍යෂ්ඨ දේශපාලනඥයකු වෙයි.

කුරිරු සිවිල් යුද්ධය හේතු කොටගෙන විශේෂයෙන්ම දෙමළ ජනතාවට මුහුණ පෑමට සිදුවූ ගැටලු විසඳීම සම්බන්ධයෙන් මෛත්‍රි - රනිල් ආණ්ඩුව විසින් ලබාදී ඇති පොරොන්දු ඉටු කිරීමට වසර තුනක් තුළදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සස¼දා බලමින් දැනට 84 වැනි වියෙහි පසුවන මෙම දෙමළ නායකයා සමඟ ඉන්දියාවේ හින්දු පුවත්පත පැවැත්වූ සංවාදයකි මේ.

දෙමළ ජාතිකයන් ඇතුළු වාර්ගික හා ආගමික කොටස්වල ප්‍රබල සහයෝගය ඇතිව බලයට පත්වූ ශ්‍රී ලංකාවේ ජාතික ආණ්ඩුවට මේ වන විට වසර 3ක් ගතවී ඇත. ජනාධිපති සිරිසේන මැතිතුමාට සහයෝගය ලබාදීමට ඔබ විසින් ගත් තීරණය හා එම අවස්ථාව ඔබ ආවර්ජනය කරන්නේ කෙසේද?

ජනාධිපති සිරිසේන මැතිතුමාට සහාය ලබාදීමට ගත් නිවැරැදි තීරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් මා තුළ නොමැත. විශේෂයෙන්ම දෙමළ සිවිල් වැසියන්ට අයුතු හා අසාධාරණ ක්‍රියා සිදුකළ රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් අපි මහත් පීඩාවකට පත්ව සිටියෙමු.
මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර සිටම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දෙමළ දේශපාලනය හා සම්බන්ධව සිටියේය. දෙමළ ප්‍රශ්නයට සාධාරණ හා යුක්ති සහගත විසඳුමක් ගෙන දීමට සහාය දැක්වූවන් අතර ඔහු ඉතා ප්‍රබල අයෙක් විය.

පළමු වතාවට, දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර බහුපාර්ශ්වික එකඟතාවක් ඇතිවීමටද එමඟින් අවස්ථාව උදාවිය. විශාල කාර්යභාරයක් රජය විසින් ඉටු කරනු ඇතැයි යන අපේක්ෂාව දෙමළ ජනතාව තුළත් ඔවුන් නියෝජනය කළ අප තුළත් තිබුණද අප විසින් ගත් තීරණය පිළිබඳ මට කනගාටුවක් නොමැත.

විශේෂයෙන්ම දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම හා ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම ආණ්ඩුවේ කාර්යයන් පිළිබඳව තක්සේරු කරන විට දෙමළ ජනතාවට ලැබී ඇති සැලකිය යුතු ජයග්‍රහණ මොනවාද?

ජාතික ප්‍රශ්නයට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය 2016දී ආරම්භ කෙරුණු අතර එහි සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට සිදුකර ඇත.
මෙහෙයුම් කමිටුවට අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ සාමාජිකයන් 21ක් පත් කර ඇත. ඔවුන් නිරන්තරව රැස්වී සාකච්ඡා කර අතුරු වාර්තාවක් ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඇත. පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ක්‍රියාවලිය වඩාත් ශීඝ්‍ර ලෙස සිදුකිරීමට අපි අපේක්ෂා කරමු. ඇතැම් දේශපාලන පක්ෂ විසින් දරන යම් ස්ථාවරයන් හේතු කොට ගෙන මෙම ක්‍රියාවලිය යම් ප්‍රමාදයකට පත්ව ඇත.

සන්නද්ධ හමුදා විසින් අත්පත් කරගෙන සිටින සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, අඛණ්ඩව රඳවා තබා සිටින දේශපාලන සිරකරුවන් හා අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්න දෙමළ සිවිල් ජනතාවට බලපා ඇති ප්‍රධාන ගැටලු වෙයි. ඒ සම්බන්ධයෙන් කිසිදු දෙයක් සිදු වී නැතැයි මම නොකියමි. එහෙත් කළ යුතු බොහෝ දේ තවත් ඇති බව සඳහන් කරමි.

සිරභාරයේ රඳවා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ගත් විට ඔවුන්ගෙන් 40%-50% පමණ ප්‍රමාණයක් හිරෙන් නිදහස් වී ඇත. අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නය සලකා බැලීමේදී ඒ සම්බන්ධයෙන් පැමිණිලි 20,000ක් පමණ ඇති බව පැහැදිලිව දැකිය හැකිවේ. එය ඉතා විශාල සංඛ්‍යාවක් වේ. ඔවුන්ගේ පවුල්වල අයට මූලික වශයෙන්ම අවශ්‍ය වී ඇත්තේ තම අතුරුදන් වූ ඥාතීන් පිළිබඳව කවර හෝ තොරතුරක් දැනගැනීමටය. ඔවුන්ට යම්කිසි අස්වැසිල්ලක් ලැබිය යුතුයි. වන්දියක් ලබාදීමටත්, සත්‍යය දැනගැනීමට අවස්ථාවක් සැලසීමටත් කටයුතු කළ යුතු අතර තම ජීවිත ගෙන යෑමට හැකිවන ආකාරයේ උපකාරයක් ඔවුන්ට කළ යුතුව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා සම අනුග්‍රාහකයන් විසින් සම්මත කරන ලද වගවීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් 2015දී ලබා දුන් පොරොන්දු ආමන්ත්‍රණය කිරීමට රජය තවමත් කටයුතු කර නොමැත. මෙම ප්‍රමාදය පිළිබඳව දෙමළ සිවිල් ජනතාව මහත් ශෝකයටත් අපේක්ෂා භංගත්වයටත් පත්ව සිටිති.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදීම, මැතිවරණ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සම්බන්ධයෙන් හා බලය බෙදීම පිළිබඳවත් යම් මට්ටමකට ඇති විවාදය ඉදිරියට ගෙන යා නොහැකි ලෙස නතර වී ඇත. ජාතික ආණ්ඩුව දෙමළ ජනතාවට පිටුපා ඇති බවක් ඔබට සිතෙනවාද?

අවසානයේදී සිදු වනුයේ කුමක්දැයි යන්න පිළිබඳ කිසිම නිගමනයකට එළැඹීමට අපට නොහැකි වී ඇත. එහෙත් යම් කාරණයක් පිළිබඳව තදබල විවාදයක් ඇති නොවේ නම් එයට දැඩි විරෝධතාවක් නොමැති වීම එයට හේතුව විය හැකිය. දැන් මෙම ප්‍රශ්නයේ සියුම් වෙනස්කම් පිළිබඳව සෙවීමට මම උත්සාහ නොකරමි. මධ්‍යම රජය හා පළාත් අතර පුළුල් බලය බෙදීමක් සඳහා සහාය දක්වන බවට, විශේෂයෙන්ම උතුර හා නැඟෙනහිර පළාත්වලින් පිටත ඇති මේ රටේ සියලු පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන් විසින් ප්‍රකාශ කර ඇති බව ප්‍රකට කරුණකි. එහෙත් අවසාන නිගමනයන් ලබාදෙන තෙක් මම දැඩි අපේක්ෂාවෙන් යුතුව බලා සිටිමි.

ඔබ සර්ව සුබවාදී අයෙක්ද?

මම සර්ව අසුබවාදියෙක් නොවෙමි. රටේ සියලුම ජනතාවගේ සමානාත්මතාව මත පදනම් වූ සැබෑ සංවර්ධනයක් හා ප්‍රගතියක් කරා යන ගමනක් ආරම්භ කිරීම සඳහා මේ රටට දේශපාලන විසඳුමක් අවශ්‍ය වේ. කරුණු මෙසේ හෙයින් අපට කළ හැකි දෙය වන්නේ සාර්ථක නිගමනයකට හැකි ඉක්මනින් එළැඹීම සඳහා මෙම ක්‍රියාවලිය තුළ නොසැලී සිටීමයි. අපට බලාපොරොත්තු සුන් කරගත නොහැකිය. සෑම දෙයක් පිළිබඳවම හඬ නඟමින් අවුල් සහගත තත්ත්වයන් හා බාධාකාරී තත්ත්වයන් ඇති කරනවාට වඩා දෙමළ ජනතාවට වැදගත් වන දෙය දිනා ගැනීම වෙනුවෙන් වගකීමක් සහිත ප්‍රායෝගිකව මුදුන් පත් කරගත හැකි කර්තව්‍යයක් අප විසින් ඉටු කළ යුතුව ඇත.

මේ ස¼දහා ඇති විකල්පය කුමක්ද?

නැවතත් මහින්ද රාජපක්ෂ රජයක් පත් කර ගැනීමට ජනතාවට අවශ්‍ය වී තිබේද? කිසිදු දෙයක් සිදු නොවීමට එය හොඳ හේතුවක් වනු ඇතැයි මම නොකියමි. එහෙත් මෙම රජය යටතේ නීතියේ පාලනය ක්‍රියාත්මක වන බව අවබෝධ කර ගත යුතුය. මින් පෙර පැවැති පරිදි දඬුවම් නොලබා වරදකරුවන් නිදහස් වන සංස්කෘතියක් අපට නොමැත. අධිකරණයේ ස්වාධීනත්වය හා සිවිල් ආයතන නැවත ස්ථාපනය කර ඇත. ඔබ විසින් මෙම තත්ත්වයේ සමස්ත සිතුවමක් ගතහොත් මෙය දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට උදාවී ඇති ඉතා යෝග්‍ය පරිසරයක් බව අවබෝධ වනු ඇත.

නිල විපක්ෂයේ නායකයා වශයෙන් අනෙකුත් ජන වර්ගවල හා අනෙකුත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු නියෝජනය කිරීමට ඔබට හැකි වී තිබෙන්නේ කවර ආකාරයකටද?

ඒ පැත්ත මා විසින් සම්පූර්ණයෙන්ම නොසලකා හැර නැත. එහෙත් මට වඩාත් ප්‍රයෝජනවත් කර්තව්‍යයක් ඉටු කළ හැකි බවට ඇතැම් අය තුළ අපේක්ෂාවන් තිබිය හැකිය. එම අදහස සමඟ වෙනස් මතයක් මට නොමැත. එහෙත් ඒ සමඟම රට මුහුණ පා ඇති වඩාත් වැදගත්ම ප්‍රශ්නය වන්නේ ජාතික ගැටලුව යැයි මම සිතමි. මේ රට තිබිය යුතු ස්ථානයට යෑමට නොහැකි වී ඇත්නම්, එයට විශාල වශයෙන් බලපා ඇත්තේ මෙම බාධාවයි. එම වෑයමේදී මා විසින් ඉටු කරමින් පවතින කර්තව්‍යය වෙනස් ලෙස සිතන පුද්ගලයන්ගේ ප්‍රමාණවත් ඇගයීමට නිසැකවම ලක්වී නැතැයි මම සිතමි.

දෙමළ සමාජය තුළ පවතින පැහැදිලිව පෙනෙන ආගමික නොරිස්සීම හා කුල භේදය පිළිබඳව ඔබට යමක් පැවැසිය හැකිද?

දෙමළ සමාජය තුළ මෙවැනි ඇතැම් සිදුරු තිබෙන බවට කිසිදු සැකයක් නොමැත. සෑම සමාජයකම මෙවැනි දේවල් තිබෙන බව මම සඳහන් කරමි.
තමන් මේ රටේ සමාන පුරවැසියන් නොව දෙවන පෙළ පුරවැසියන් වන බවට දෙමළ ජනතාව තුළ ඇති හැඟීමෙන් ඔවුන් මිදීම අවශ්‍ය වේ. බහුතර ප්‍රජාවට හිමි අයිතිවාසිකම් ඔවුන්ට අහිමි වී ඇත. යුද්ධය ඇති වූයේ එම හේතුව නිසයි. යුද්ධය අවසන්ව ඇතැයි යන්නෙන් අදහස් වන්නේ එම ගැටුමට එතුළින් විසඳුමක් ලැබී ඇති බව නොවේ.
තම අනාගතය පිළිබඳව යම් තරමක හෝ විශ්වාසයක් දෙමළ ජනතාවට නව ව්‍යවස්ථාව මඟින් ලබාදිය හැකි වන්නේ නම් එවැනි කාලයකදී නිසැක වශයෙන්ම මෙම ගැටලු දැනට වඩා හොඳින් ආමන්ත්‍රණය කළ හැකි වනු ඇත.

2013දී පැවැත්වුණු ඉතිහාස ගත වන උතුරු පළාත් සභා මැතිවරණය තුළදී පළාත් ආණ්ඩුවක් බිහි කිරීමේ

පළමු අවස්ථාව දෙමළ ජාතික සන්ධානයට ලැබිණි. කවුරුත් දන්නා පරිදි ප්‍රමාණවත් නොවන බලය බෙදීමේ සීමාවන් තිබියදීත් උතුරු පළාතේ ජනතාවට උතුරු පළාත් සභාව මඟින් සේවා සලසා ඇත්තේ කවර ආකාරයකටද?

මට ලැබී ඇති සියලු වාර්තාවලට හා මා කියවා ඇති වාර්තාවලට අනුව හොඳින් සේවය කිරීමට උතුරු පළාත් සභාවට හැකි වී ඇත. 13 වැනි සංශෝධනයේ අඩුපාඩු තිබුණද එම රාමුව තුළ ඉටු කළ හැකි වන දේ බොහෝ ප්‍රමාණයක් ඇත. මූලික වශයෙන්ම ආණ්ඩුකාරවරයා සමඟ කටයුතු කිරීම අසීරු විය. ඔහු හමුදා නිලධාරියෙක් විය. එහෙත් 2015 සිට නිදහස් හා ප්‍රගතිශීලී ආණ්ඩුකාරවරුන් පත් කෙරිණි. තමන් විසින් ඉටු කර ඇති සේවාවට වඩා ඵලදායක ආකාරයකින් උතුරු පළාත් සභාව විසින් ජනතාවගේ දෛනික අවශ්‍යතා හා සම්බන්ධ ගැටලු ආමන්ත්‍රණය කළ යුතුව තිබිණි.

දෙමළ ජාතික සන්ධානයට නායකත්වය දෙන ඔබගේ පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චියට අනෙකුත් අය චෝදනා නඟයි. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී දෙමළ දේශපාලනයට හා ජාතික දේශපාලනයට මෙය බලපාන්නේ කෙසේද යන්න ඔබට පැහැදිලි කළ හැකිද?

වර්තමානයේ ඇතැම් අය ජාතික ගැටලු මැතිවරණ කොට්ඨාසය තුළ මතු කරමින් සිටින බව මම දකිමි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන කටයුතු වෙනුවෙන් බහුතරයේ සහයෝගය ලැබෙනු ඇතැයි මම සිතමි. දැනට එය ඉලංගෙයි තමිල් අරසු කච්චි (අයි.ටී.ඒ.කේ.), දෙමළ ඊළාම් ජනතා නිදහස් සංවිධානය (ප්ලොට්) හා දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) යන පක්ෂවලින් සමන්විත වේ. ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්.) පමණක් ඉවත් වී ඇත. තම බුද්ධි මට්ටම්වලට අනුව ජනතාව විසින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති අගය කෙරෙනු ඇතැයි මට සාධාරණ විශ්වාසයක් ඇත.

ජාතික වශයෙන්?

ජාතික වශයෙන් සිදු වීමට යන දෙය පිළිබඳව අපි නොදනිමු. දකුණේ ප්‍රධාන තරගකරුවන් තිදෙනකු සිටිති. ජනාධිපතිවරයාගේ පක්ෂය වන ශ්‍රී .ල.නි.ප.ය, අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය වන එ.ජා.පෙ. හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී .ල.පා.ජ.පෙ. ඒ අතර වේ. වැඩි නැඹුරුවක් ඇත්තේ කුමන පක්ෂයකට දැයි යන්න හඳුනා ගැනීමට තවම කෙනකුට හැකිවෙතැයි මම නොසිතමි. එය කෙසේ සිදුවේදැයි අපි බලා සිටිමු.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට ඔබෙන් පසු අයකු පත් කිරීමේ සැලසුමක් පිළිබඳව ඔබ සිතා තිබේද?

ඇත්තෙන්ම මා ඒ සම්බන්ධයෙන් කිසිවක් සැලසුම් කර හෝ යම් නිශ්චිත කෙනකු කෙරෙහි අවධානය යොමු කර හෝ යම් වැඩපිළිවෙළක් ගැන හෝ සැලසුම් කර නොමැත. එය කාලයත් සමඟ හැකි ඉක්මනින් සිදු කළ යුතු යැයි මම සිතමි. මෙම ගමනේදී කුමක් සිදු වනු ඇද්දැයි අපි බලා සිටිමු. මට හැමදාමත් එම තනතුරු දැරිය නොහැකිය. එය භාර ගැනීම සඳහා කෙනකු සිටිය යුතුය. එය පහසු කාර්යයක් නොවේ. එම පුද්ගලයා නැණවත් විය යුතුය. ඉවසිලිවන්ත විය යුතුය. සෑම දෙනාටම උත්තර බැඳීම අවශ්‍ය නොවේ. එය සිදු කළ නොහැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon