අනතුරෙන් එදා තුවාල ලැබූවෝ කඳුළු මැද දුක කියති

  👤  3334 readers have read this article !
By mawbima 2018-01-17

මෙරට බිහිසුණුම බස් රිය - දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17දා අහුන්ගල්ලේදීය. එයින් පාසල් සිසු සිසුවියන් 38 දෙනකු ඇතුළු 40 දෙනකු මරුමුවට පත්විය. බස්-දුම්රිය ගැටීමකින් වැඩිම පිරිසක් මියගියේ මෙම අනතුරිනි.

අම්බලන්ගොඩ සිට උෟරගහ දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගයේදී අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය කළ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. එකල අහුන්ගල්ල උෟරගහ මාර්ගයේ ධාවනය වූයේ මෙම බස් රථය පමණි.
වර්තමානයේ මෙන් එදා පෞද්ගලික බස් රථ මෙම මාර්ගයේ ධාවනය වූයේ නැත. පොල්අතුපළාත, ලෑලිහේත්තුව, කටුවිල, නෙල්ලිගොඩ, ගල්වෙහෙර, වැලිකන්ද, බෝගහපිටිය, මරදාන ආදී ප්‍රදේශ රැසක පාසල් සිසු සිසුවියන් අම්බලන්ගොඩ, බළපිටිය, අහුන්ගල්ල ප්‍රදේශයන්හි පාසල් වෙත ආවේ ගියේ මෙම බස් රථයෙනි.
පාසල නිමවී පොත් මිටි තුරුලු කරගෙන කුසගින්නේ නිවෙස් බලා එමින් සිටි පාසල් සිසු සිසුවියන් 38 දෙනකු මෙම අනතුරින් මරණයට පත්විය. මේ හේතුවෙන් අහුන්ගල්ල හා අවට ගම්මාන එකම මළගෙයක් බවට පත්ව තිබිණි.

එකල අහුන්ගල්ල මෙන්ම දිවයිනේ බොහෝ දුම්රිය හරස් මාර්ග තිබුණේ අනාරක්‍ෂිත තත්ත්වයකය. ඒවා කිසිවකට ගේට්ටු සවිකර තිබුණේ නැත. අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගය අසල දුම්රිය මාර්ගය ආසන්නයටම ගොඩනැඟිලි ඉදිකර තිබීම හේතුවෙන් දුම්රිය පැමිණීම දැකගන්න ලැබෙන්නේ දුම්රිය මාර්ගය අසලටම පැමිණි පසුවය.
අහුන්ගල්ලේදී දුම්රියක පැමිණීම බොහෝ වාහන හිමියන්ට එකල දැනුම් දුන්නේ අසල්වැසි කාන්තාවකි. ඇය මේ වන විට මියගොසිනි. මෙදිනද එම කාන්තාව අත් ඔසවා කෑගසමින් ඒ බව දැනුම් දුන්නත් බස් රියැදුරා බස් රථය නතර කළේ දුම්රිය මාර්ගය මතටම බස් රථය ගෙන ඒමෙන් පසුවය. දුම්රිය දැකීමෙන් බියට පත්වීම මත බස් රිය දුම්රිය මාර්ගය උඩ තිබියදීම බස් රථයේ එන්ජිම නතරවී තිබිණි.

1980 පෙබරවාරි 08 වැනිදා පුහුණු වන දුම්රිය රියැදුරකු ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වූ බළපිටියේ ඒ.ආර්. ද සිල්වා මහතා මෙම දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු 1985 වසරේ බලවේග කට්ටල දුම්රිය රියැදුරකු ලෙස පත්වීම් ලැබ වසර 02ක් කොළඹ බලවේග ධාවනාගාරයේ සේවය කර 1987දී ස්ථාන මාරුවක් ලැබ ගාල්ල ධාවනාගාරයට අනුයුක්තව සේවය කරමින් සිටියේය.
ඔහුට නියමිතව තිබුණේ ගාල්ල - අලුත්ගම මන්දගාමී දුම්රිය ධාවනය කිරීමය. මෙදින ගාල්ල - අලුත්ගම බලවේග කට්ටල දුම්රියේ යම් දෝෂයක් හේතුවෙන් එ2 වර්ගයේ ජර්මන් එන්ජිමක් සහිත අංක 704 දරන දුම්රිය ධාවනය කිරීම මොහුට භාරවිය.


අලුත්ගමින් ගාල්ල දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය ප.ව. 2.25ට කොස්ගොඩ දුම්රිය නැවතුම්පොළේ නවතා 2.30 වන විට අහුන්ගල්ල දුම්රිය නැවතුම්පොළට ළඟා වෙමින් තිබූ බවත් එක්වරම දුම්රිය මාර්ගයට ප්‍රවිෂ්ට වූ බස් රිය හා දුම්රිය අතර දුර ඉතා අඩු වූ හෙයින් කිසිවක් කරකියා ගන්නට නොහැකි වූ බවත් ඒ.ආර්. ද සිල්වා මහතා සිද්ධිය විමර්ශනය කළ ඒකපුද්ගල කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබිණි.

දුම්රියේ මැද වැදුණ බස් රිය දෙකට කැඩී ගිය බවත් සිසුන් රේල් පාර මැදට වැටීමෙන් දුම්රියට හසුවූ බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.
එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන්නට ඒකපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය.
ඒ හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඩී.ජේ. ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙනි. දුම්රිය රියැදුරුවරයා ඉහත සාක්‍ෂිය ලබාදුන්නේ මෙම කොමිසම හමුවේය.
එයට අමතරව හේමා ප්‍රේමදාස ආර්යාව අහුන්ගල්ලට එවා අනතුර පිළිබඳව සොයා බලා එයින් විපතට පත්වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් කටයුතු කරන්නටද උපදෙස් ලබාදී තිබිණි.

එයින් පසුව රුපියල් 1000ක මාසික දීමනාවක් මත ජනසවිලාභීන් යොදවා අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගවලට උණ බම්බු ගෙට්ටු සවි කරන්නටද ජනාධිපති ප්‍රේමදාස මහතා පියවර ගත්තේය. දුම්රිය හරස් මාර්ගවලට උණ බම්බු ගේට්ටු වැටුණේ මෙම අනතුර නිසාය.
ලංකා ගමනාගමන මණ්ඩලය අනතුරෙන් මියගිය පුද්ගලයන්ට හා තුවාල ලැබූවන්ට වන්දි ගෙවීය. ඒ මියගිය අයකුට රුපියල් 25,000ක් වශයෙන් හා තුවාල ලැබූවන්ට රුපියල් 50,000 සිට 1,00,000ක් දක්වා වශයෙනි.
නමුත් ජීවිත අහිමි වූවන්ගේ හා තුවාල ලබා ආබාධිත වූවන්ගේ පවුල් ජීවිත ගොඩගන්නට එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවීය. අනතුර සම්බන්ධයෙන් බස් රියැදුරුට එරෙහිව අහුන්ගල්ල පොලිසිය බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන තිබිණි. නඩුව අවසානයේ එහි රියැදුරුට වසර 190ක සිරදඬුවමක් නියම කිරීමටත් රියැදුරු බලපත්‍රය අත්හිටුවීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අනතුරින් මියගිය අය සිහිපත් කිරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමටද එකල කිසියම් වූ සංවිධානයක් මුදල් ලබා දුන්නේය. විපටත පත් පවුල් යළි ගොඩනැඟීමටද පියවර ගෙන තිබිණි. නමුත් එම මුදලින් ගොඩනැඟූ පවුලක්ද නැත. එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්නද අදටත් කිසිවෙක් නොදනී. අවසානයේ ආසන්න විහාරස්ථානයකට ප්‍රවිෂ්ට වීමේ තොරණක් එම මුදලින් ඉදිකිරීමට යම් කණ්ඩායමක් පියවර ගෙන තිබිණි. එම තොරණේ පාමුල අනතුරින් මියගිය අය සිහිපත් කිරීමට එය ඉදිකළ බව සඳහන් කර තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලබා තවමත් ආබාධිත තත්ත්වයේ පසුවන කීපදෙනකුගේ තොරතුරු සෙවීමට පසුගියදා අහුන්ගල්ල, කටුවිල, නෙල්ලිගොඩ, මරදාන ප්‍රදේශයේ අපි සංචාරය
කළෙමු. එහිදී හමුවූ කීපදෙනෙක් හා ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පළ කළ අදහස් පහත දැක්වේ.
අහුන්ගල්ල සී.පී.ද සිල්වා මාවතේ ඩි. සමන් මෙන්ඩිස් (48): මම හෑගල්ල මහා විද්‍යාලයෙන් සා.පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න බළපිටිය රේවත විද්‍යාලයට ගියා. 1986 අගෝස්තුවල පන්ති පටන් ගත්තේ. මාස කීපයයි ඉස්කෝලෙට ගිහින්. මම අදටත් බෙහෙත් බොනවා. අනතුර නිසා මගේ අත් කකුල් කැඩිලා ගියා. බඩේ පපුවේ සැත්කම් කරලා තිබෙනවා. ඒ කාලේ මාස 02ක් විතර සිහිය නැතිව ඉඳලා තියෙනවලු. දැන් ස්නායු ආබාධයක් තියෙනවා. මාසෙකට රුපියල් 1800ක් විතර යනවා. අක්කයි, නංගියි, අම්මයි, මමයි ඉන්නේ. මම ලෙඩෙක්. අක්කයි, නංගියි මම ගැන වෙහෙසෙනවා. ඒ නිසා කවුරුවත් විවාහ වෙලා නැහැ. තාත්තාගේ පැන්ෂන් එකෙන් ජීවත් වෙන්නේ. අනතුර නිසා අපේ පවුලම විනාශ වුණා. දැන් කවුරුවත් අපි ගැන හොයලා බලන්නේ නැහැ.
අනතුරෙන් දැඩිලෙස ආබාධිත තත්ත්වයට පත්වූ තවත් අයෙක් වන්නේ එවකට අහුන්ගල්ල, පොල්අතුපළාත ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. උෂානි ඉමල්කා ද සිල්වා මෙනෙවියයි (46).
ඇය මේ වන විට සිය නැඟණියගේ අහුන්ගල්ල, ගල්වෙහෙර නිවෙසේ ජීවත් වන්නීය. ඇය සම්බන්ධයෙන් නැඟණිය කීවේ මෙවන් කතාවකි.
පොඩි අක්කා, බළපිටිය රේවත ජාතික පාසලේ ඉගෙන ගත්තේ. අනතුර සිදුවන විට 10 වැනි ශේ්‍රණියේ හිටියේ. අනතුරෙන් පොඩි අක්කාගේ ඔළුව මොකක හරි වැදිලා. දැන් හරියට සිහියක් නැහැ. පොඩි එකෙක් වගෙයි හැසිරෙන්නේ. කන්න දුන්නොත් කනවා. නැත්නම් ඔහේ ඉන්නවා. කොහේවත් එක්ක යන්න බැහැ.බස් දකින කොට බයයි. කෑගහනවා.

තාත්තා මැරෙන විටත් කිව්වේ පොඩි අක්කා හොඳින් බලා ගන්න කියලා. අපිත් දුප්පත්. පුළුවන් විදියට උදවු කරනවා. අනතුර නිසා අක්කාගේ ජීවිතයම විනාශ වුණා. අපි ඉතින් පින්දහම් කරලා ඊළඟ ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්න කියලා පින් දෙනවා.
මේ ආත්මයේ අක්කගේ ජීවිතේ ඉවරයි. හොඳට ඉගෙන ගත්තා. අනතුර නොවුණා නම් අක්ක අද කොහොම ඉඳීවිද?
අහුන්ගල්ල, කටුවිල පදිංචි අගම්පොඩි භද්‍රානි ද සොයිසා (49) හා අගම්පොඩි ස්වර්ණපාලි ද සොයිසා (43) අක්ක නඟෝය. ස්වර්ණපාලි ඒ වන විට බළපිටිය රේවත ජාතික පාසලේ 9 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටියාය.
ස්වර්ණපාලි අනතුර සිදුවූ බස් රථයේ පාසල ඇරී නිවෙසට පැමිණෙමින් සිටියාය. ඇයගේ මව වන ගීමුණි ලීලාවතී කවිරත්න මහත්මියත්, භද්‍රානි සොයුරියත් වෙනත් අවශ්‍යතාවකට අම්බලන්ගොඩ ගොස් ආපසු පැමිණෙමින් සිටියාය. අනතුරෙන් මව මියගිය අතර අක්කා නඟෝ බරපතළ තුවාල ලැබුවාය. ස්වර්ණපාලිගේ වම් පාදය දණහිසින් පහළ කොටස ඉවත් කර තිබේ. ඇය අදටත් ගත කරන්නේ දුක්ඛිත ජීවිතයකි. ඇය මෙසේ කීවාය.
මට වන්දි හැටියට රුපියල් 75,000ක් දුන්නා. අනතුරින් පස්සේ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වැටුණා. ඉස්සර දැන් වගේ මේ පාරේ බස් තිබුණේ නැහැ. අනතුරින් පස්සේ කිහිලිකරුවෙන් හෝ රෝද පුටුවකින් පාසල් යන්න බැරි නිසා පාසල් ගමන නැවතුණා. අනතුරින් පස්සේ පාසල් ගියේ නැහැ. ඒ කාලේ ඒ ගැන තේරුමක් තිබුණේ නැහැ.
ඉගෙන නොගත් එකේ පාඩුව දැන් මට තේරෙනවා. මම ඒ කාලේ හොඳට ඉගෙන ගත්තා. දැන් ඉතින් අපි ගැන කවුරුවත් හොයලා බලන්නේ නැහැ. පත්තරවලට විතරයි මෙහෙමවත් අපි මතක් වෙන්නේ.
අපිට ඒ කාලේ ගොඩක් උදවු කළේ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ. වලගෙදර අමරවංශ හාමුදුරුවොත් ගොඩාක් උදවු කළා. අර කෝචච්යේ පැටලිලා තිබෙන්නේ අපේ අම්මගේ සාරියයි. අම්ම මතක් වෙන විට අදටත් විශාල කනගාටුවක් දැනෙනවා.

ලියනගේ ජානක පුෂ්පකුමාර (42) අනතුරින් බරපතළ තුවාල ලැබූ අයෙකි. අහුන්ගල්ල, මරදානේ පදිංචි ඔහු මෙසේ කීය.
මම රේවත ජාතික පාසලේ 08 වැනි ශේ්‍රණියේ ඉගෙන ගත්තේ. මම සාමාන්‍යයෙන් මේ බස් එකේ එන්නේ නැහැ. කොස්ගොඩ බස් එකේ ඇවිත් අහුන්ගල්ල හන්දියෙන් බැහැලා පයින් ගෙදර එන්නේ. එදාත් මම කොස්ගොඩ බස් එකේ ඇවිත් අහුන්ගල්ලෙන් බැස්සා.
හොඳටම වහිනවා. වැස්ස පායනකම් බස් හෝල්ට් එකේ ඉන්න විට උෟරගහ බස් එක ආවා. ඉතිරි ටික දුර යන්නයි මේ බස් එකට නැඟ්ගේ. අනතුරින් මට බරපතළ තුවාල වුණා. ශරීරයේ වම් පැත්තට ගොඩක් තුවාල වෙලා තිබුණා. වම් අත, වම් කකුල කීප තැනකින් කැඩිලා තිබුණා. වම් ඇහැටත් තුවාල වෙලා තිබුණා. දැනටත් වම් අත නවන්න දිග අරින්න බැහැ. බඩේ පපුවේ ලොකු ඔපරේෂන් දෙකක් කරලා තිබෙනවා. ඉස්කෝලෙ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. මාස 04ක් විතර ගාල්ලෙත්, කොළඹත් ඉස්පිරිතාලවල හිටියා. වැඩිම තුවාල වුණේ මටයි කියලයි කියන්නේ. අපි ගැන රජය සැලකිල්ලක් දක්වන්න ඕන.

අනතුරෙන් විපතට පත්වූවන් තවත් බොහෝය. මේ සම්බන්ධයෙන් රජය හෝ කිසිවකු යම් සොයා බැලීමක් කරන්නේ නම් ඒ සඳහා උදවු කළ හැකිය. මියගිය අයද බොහෝය. දරුවන් අහිමිවීමෙන් අසරණවූ මවුපියෝද සිටිති.

ගල්වෙහෙර උපුල්, නෙල්ලිගොඩ දුලීකා, චම්පාද සොයිසා සහ නන්දනී ද සොයිසා දෙසොහොයුරියන්, සුනන්දලතා ද සිල්වා, සම්පත් සංජීව, නිරෝෂා කුමාරි, ප්‍රදීපා ද සිල්වා, රසිකලතාද සිල්වා මෙන්ම ආදම්භාවා අසානි උම්මා ගුරුවරියද මියගිය අතර සිටිති.

අසානි උම්මා සමන්තුරේ තරුණියකි. ඇය බළපිටියේ අසාහිර් මොහොමඩ් ලෙබ්බේ හා ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගන්නේ ඔවුන් 1974දී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටියදීය. බළපිටිය මුස්ලිම් විද්‍යාලයේ ඉගැන්වීමේ නිරතව සිටි ඇය පාසල නිමවී නිවෙසට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්විය.
මියගිය උපුල්ගේ මව එම්.බී. යසවතී මහත්මිය (76) අදටත් සිටින්නේ හැඬ­ කඳුළිනි. එම අනතුරින් උපුල්ගේ ඥාති නැඟණියක වන චින්තා ප්‍රියදර්ශනීද (එවකට වයස අවුරුදු 12) බරපතළ තුවාල ලැබුවාය. අනතුරින් තුවාල ලැබූවන් රෝහල වෙත ගෙන යන්නට උපකාර කළ අහුන්ගල්ල මිද්දරමුල්ලේ බන්දුසිරි (65) මෙන්ම බෝගහපිටියේ උපාලි ද සිල්වාගේ මතකයන්ද අති බිහිසුණුය. ඔවුන් ප්‍රකාශ කරන්නේ මියගිය හා තුවාල ලැබූවන් රෝහල් කරා ගෙන යන්නට කැපවීමකින් කටයුතු කළ බවයි. මොවුන් පිළිබඳ මතකය අවදි කරන්නේ අනතුරට වසර 29ක් පිරෙන මොහොතේ අසරණ වූ පවුල්වලට යම් සාධාරණයක් ඉටු කිරීම සඳහා බලධාරීන් අවදි කරන්නට බව සඳහන් කළ යුතුව තිබේ.

බළපිටිය - දම්සරී ලියනගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon