පුංචි ඡන්දෙන් පුළුවන් කුරුල්ලෝ දෙන්නෙක් අල්ලගන්න

  👤  3371 readers have read this article !
By mawbima 2018-01-17

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් කරන්න යනවා නම් එය ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ගලෙන් පට්ටයක් ගන්නවා වැනි වැඩක් යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.
ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නිට්ටඹුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
ආණ්ඩුකාරවරයා එහිදී මෙසේද පැවැසුවේය.

'මේ මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපති වෙනස් වෙන්නෙත් නැහැ. ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙත් නැහැ. මේ මැතිවරණයේදී කළ යුත්තේ යහපත් චරිතයක් ඇති අවංකව වැඩ කළ හැකි දක්ෂයකු තෝරා පත් කර ගැනීම. මෙතැනදී හරියට කතිරය පාවිච්චි කළේ නැත්නම් අවුරුදු හතරක් දුක් විඳින්න වේවි.
ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ඇති කරපු මැතිවරණ ක්‍රමය නිසා රටක් ජාතියක් ජන්මයක් අඳුනන්නෙ නැති කොහෙන්ද පහත් වෙච්ච මිනිස්සු අපේ ආසනවලට ඇවිල්ලා.

ජේ.ආර්. ජයවර්ධන මහතා ආර්. ප්‍රේමදාස මහතා, චන්ද්‍රිකා ජනාධිපතිතුමිය විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් ජනාධිපතිවරණ එකම සටන් පාඨය වූයේ
භීෂණය, දූෂණය, හිංසනය නැති කරමු කියන එකයි.
ඇයි මේ එකම සටන් පාඨය කිය කියා ඉන්න වෙලා තියෙන්නේ. ඒ කිසිම දේකට නිසි දඬුවම් නොදීම නිසා තමයි.
පසුගිය කාලය පුරාවටම හොරුන්ට කිසිම ආණ්ඩුවකින් දඬුවම් දුන්නේ නෑ. හැබැයි හොරුන්ට දඬුවම් දීපු එක ආණ්ඩුවක් තිබුණා. ඒ තමයි ශ්‍රී ලනිපයේ පුරෝගාමී එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හදපු ආණ්ඩුව.

එතුමා වෝල්ටර් තයිගොඩපිටිය කියන කොමිසම පත් කරලා තමන්ගේ පක්ෂයේ තමන්ගේ ආණ්ඩුවේ හොරකම් කරපු ඇමැතිවරු පස් දෙනෙක්ව ගෙදර යැව්වා. එදා මෙදාතුර බලයට ආපු එකදු ආණ්ඩුවක්වත් හොරුන්ට දඬුවම් දුන්නෙ නෑ.
තොරණක පත්තුවෙන බල්බ් ගත්තහම ඉස්සරහින් ගිහින් බැලුවහම බල්බ් තියෙන්නෙ වෙන වෙනම. හැබැයි තොරණේ පිටිපස්සට ගිහින් බැලුවහමයි පේන්නේ ඒ බල්බලවල වයර් හොඳට එකට බැඳිලා තියෙන බව.
ඒ වගේ තමයි මේ රටේ හොරකමත්. පාට පක්ෂ එකතුවෙලා හැමදාම හොරකම රජ කෙරෙව්වා.
මහජන දේපළ කොල්ලකන අයට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි කියන දැඩි තීරණයේ අපේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සිටීම අපිට වාසනාවක්.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මැතිවරණය කරන්න රොස්මිඩ් වලව්ව උකස් තිබ්බා. ඔහු තිබුණු දේත් නැති කරගත්තා.
එවැනි අවංක දේශපාලන නායකයන්, අවංක රටක් අපට තිබුණා. නමුත් අපේ සංස්කෘතිය පසුගිය කාලය තුළ මුදලට, බලයට, හොරකමට, වංචාවට තෝතැන්නක් බවට පත්වුණා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අවංකව, එඩිතරව කටයුතු කරනකොට වංචනිකයන්ගේ පෙරමුණක් හදලා බණ්ඩාරනායක මහත්තයට කළා වගේ ජීවිත තර්ජන ඇති කරන්නත් ඉඩකඩ තියෙනවා.

මෙවර ඡන්දෙදී එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් අල්ලන්න පුළුවන්. ඒ තමයි ශ්‍රී ලනිපයට පාවිච්චි කරන ඡන්දය හරහා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අපට තවදුරටත් අවශ්‍යයි කියන උත්තරය දෙනවා. ඒ වගේම තමන්ගේ ගමට වැඩ කරන්න පුළුවන් නායකයෙක් පත්කරගන්න පුළුවන් වෙනවා. ගමට සංවර්ධනයයි, රටට නිදහසයි දෙකම ඒ විදියට එකවර ලැබෙනවා. ඒ නිසා ශ්‍රී ලනිපය ආරක්ෂා කරගැනීම ඔබේත් අපේත් වගකීමක්.

හර්ෂනි අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon