කොමිෂන් පත් කිරීම සෙල්ලමක් නොවන බව මම දන්නවා

  👤  3509 readers have read this article !
By mawbima 2018-01-17

තමා සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේදී සිගරැට් සමාගම්, ඔෟෂධ සමාගම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද අමනාප කරගත් බවත්, වර්තමානයේ
කොමිෂන් සභාවක් පත්කොට තමා සිදු කරන්නේ සෙල්ලමක් නොවන බව තමන් හොඳින් දන්නා බවත්, ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කරයි.
1978 ව්‍යවස්ථාවෙන් පසු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන තෙක් සියලු ජනාධිපතිවරුන් සිදු කළේ ව්‍යවස්ථා සංශෝධන, අණපනත් මඟින් තම විධායක බලතල වැඩි කර ගැනීම බව පැවසූ ජනාධිපතිවරයා බලතල අත්හැරීම පිළිබඳ පූර්වාදර්ශය ලෝකයටම හඳුන්වා දුන් නායකයා තමා බවත් කියා සිටී.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළෙහි පසුගියදා (14දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් මංගල මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

ජනරැලිය ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
පළාත් පාලන ආයතනවල නිලධාරීන් සැබෑ මහජන හිතවාදී අවංක නියෝජිතයන් විය යුතුයි. පසුගිය දශක දෙක තුළම තිබෙන අත්දැකීම තමයි පළාත් පාලන ආයතනවල වංචා, දූෂණ සිද්ධ වුණා. ඒ නිසා හිටපු සභාපතිවරු රාශියකට තරග කරන්න බෑ.

මම ඉතා පැහැදිලිව ජනතාවට ප්‍රතිඥාවක් දෙනවා. ශ්‍රීලනිපයෙන් සන්ධානයෙන් තරග කරල ජයගන්න මන්ත්‍රිවරු, පත්කරන සභාපතිවරු අනෙකුත් පක්ෂවල කට්ටියට වඩා හික්මීමක් ඇති මහජන හිතකාමී පිරිසක් බවට පත් කරනවා කියලා. ඒ වගකීම මා භාරගන්නවා.
අපේ දේශපාලන ප්‍රතිවාදීන් අපෙන් ප්‍රශ්න අහනවා, මේ අවුරුදු තුනේ ජනාධිපති මොකද කළේ කියලා. මුලින්ම රටේ යහපත සඳහා දේශීය කර්මාන්ත, දේශීය ආර්ථිකය රැකගැනීම සඳහා මමත් ශ්‍රීලනිප ඇමැතිවරුත් විශාල මෙහෙවරක් ඉටු කළා.

මා ජනාධිපති ධුරයට පත් වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 194න් අපේ රටට හිතවත් රටවල් තිබුණේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. එයයි සත්‍යය. අවුරුදු 1 1/2ක් තිස්සේ මම කළේ ලෝක නායකයන් හමුවීමයි. මම මොනවද කළේ කියලා අහන අයගෙන් අහනවා ලෝකයේ මොන රටේ නායකයද බලයට පත්වෙලා තමන්ට තිබූ අසීමිත බලතල අයින් කරන්න කැපවුණේ. කවුද කියල පෙන්වල දෙන්න. මේ වේදිකාවේ ඉන්න අය දන්නවා 19 වැනි සංශෝධනය කරන්න මා කොතෙක් වෙහෙසුණාද කියලා. මේ රටේ 78 ව්‍යස්ථාව පටන්ගත් දා සිට 19 වැනි සංශෝධනය සම්මත කරනකම් බලයට පත්වූ හැම නායකයෙක්ම කළේ ව්‍යවස්ථා සංශෝධන අතුරු පනත්වලින් ජනාධිපතිවරයාගේ බලතල තවත් වැඩි කර ගැනීමයි. හිටපු ජනාධිපති ගෙනාපු 18 වැනි සංශෝධනය ජනාධිපති රාජාණ්ඩු ක්‍රමයක්.
2013, 2014 කාලේ මන්ත්‍රිවරයකුට ඇමැතිවරයකුට දුරකතනයෙන් කතා කළාම කියනවා මේක ටැප් කරනවා එපා කතා කරන්න කියලා. කැබිනට් ඇමැතිවරු පවා එකිනෙකා ෆෝන්වලින් කතා කළේ නෑ. කම්කරුවෝ පාරට බැහැලා සටන් කරද්දි කටුනායකදි කම්කරුවකු වෙඩි තියලා මැරුවා. රතුපස්වල ජනතාව වතුර ඉල්ලුවම වෙඩි තියලා තුන්දෙනෙක් මැරුවා. වැලිකඩ හිරගෙදර සිරකරුවන් මරලා ලෝකයේ අවමානයට ලක් වුණා. එක්සත් ජාතීන්ගේ ලංකාවේ කාර්යාලය ඉදිරියට ගිහින් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් උපවාස කරද්දී නායකයා ගිහින් තැඹිලි පෙව්වා. මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ලංකාවට ඇවිත් ආපහු යනකොට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් බඳින්න කැමැතියි කිව්වා.
අපිට රණවිරුවෝ දඩයම් කරනවා කියලා චෝදනා කරනවා. කවුද රණවිරුවෝ දඩයම් කළේ. මම එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වුණා. ඒත් ෆොන්සේකා යුද්ධ කළ බලවත්ම රණවිරුවා. 2010 ජනාධිපති තරගයට ආවා කියලා ජම්පරේ අන්දල හිරේ දාලා ලෝකයටම පෙන්නුවේ කවුද කියලා මං අහනවා. පෞද්ගලික ප්‍රශ්නවලට හමුදාවල නිලධාරීන් පාවිච්චි කරල බරපතළ සිද්ධීන් ඇති කළා. තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා, මාධ්‍යවේදීන්ට පහරදුන්නා. ඔවුන් රට හැර ගියා. ආයතන ගිනි තිබ්බා. ඒවා සිද්ධ වුණේ කාගේ කාලයේද?

මා ලෝකය හමුවේ සහතිකයක් දුන්නා නැවත එවැනි දේවල් රටේ වෙන්නේ නැහැ කියලා. මේ අවුරුදු තුනේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළා. ඒ කාලේ අරලියහ මන්දිරයෙන් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුන්ට ඇමතුම් දීලා නඩු තීන්දු දුන්නා.

දේශපාලනඥයෝ බලයට පත් වෙලා හොරකම් කරනකොට ඒ අය එක්ක ඉන්න නිලධාරීනුත් ඒ හොරකමට පුරුදු වෙනවා. ඒවා දකින සාමාන්‍ය ජනතාවත් හොරකමට හුරු වෙනවා. මේ රට ගොඩනඟන්න ශීලාචාර, යහපත්, ගුණවත්, මහජන හදවත් හඳුනන මුදල්වලට ලෝභකම් කරන්නේ නැති අවංක දේශපාලන පිරිසක් ගොඩනඟන්න මේ ප්‍රාදේශීය සභාව මුල් වෙන්න ඕනෑ. එතැනින් තමා ඉහළට යන්නේ. හොඳ පළාත් සභාවක්, හොඳ පාර්ලිමේන්තුවක්, හොඳ අගමැතිවරයෙක්, හොඳ ජනාධිපතිවරයෙක් ඒ එක්ක මේ රට ගොඩනඟන්න මේ දේශපාලන ප්‍රවාහයේ තිබෙන අසමත්කම් නිවැරදි කරන්න ඕනෑ. ඒවා සමත් කරන්න ඕනෑ.

අද හුඟක් අය කතා කරනවා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසම ගැන. සමහර අය කතා කරන්නේ නැහැ මම පත් කරපු බරපතළ වංචාව දූෂණ කොමිසම ගැන. මේ කොමිසම් දෙකේ වාර්තා එක සැරේ ලැබුණේ. දේශපාලන පක්ෂය කුමක් වුණත් තනතුර, පදවිය කුමක් වුවත්, පාට කුමක් වුවත් මේ සියලු වැරදි කරන, අයට වැරදි කරපු අයට දිය හැකි ඉහළ දඬුවම දෙන්න නීතියේ ඉදිරියේ මට කළ හැකි සියලු කැපවීම් කරනවා කියලා මම තමුන්නාන්සේලාට කියන්න අවශ්‍යයි.

රටේ ජනතාවට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන්නෙ නැතිව වෙන පක්ෂයකට ඡන්දය දෙන්න කියලා. මොකක්ද ප්‍රතිපත්තිය?
පිටකොන්දක් තියෙනවානම් දේශපාලන කොන්දක් තිබෙනවානම් ඔය කියන හයිය තියෙනවා නම් අලුත් පක්ෂය ඒ අය ගොඩනඟන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අස් වෙලා, ඔන්න අපිට වැඩේ කරන්න පුළුවන් කියලා. අපි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සමස්ත ලංකා කාරක සභාව ඇතුළු පක්ෂයේ වැඩසටහන්වලදී ඔබ සියලු දෙනා දන්නවා අපි අද රණවිරුවෝ සිහි කරනවා. වගේ විනාඩියක නිශ්ශබ්දතාවයකින් බණ්ඩාරනායක මැතිතුමා සිහිපත් කරනවා.

මට 2011 තමයි කීවේ මධ්‍ය කාරක සභා රැස්වීමක් පටන් ගන්න කලින් මොකටද ඔය නමක් දාන්නේ නමක් ඕනි නෑනේ. මියගිය නායකයන් සහ සාමාජිකයන් සිහි කිරීම කියලා දාපුවම ඇති කියලා. එහෙම කියපු අයට දැන් කාර්යාලවලට බණ්ඩාරනායක මැතිතුමාගේ පොටෝ එක නැතුව බැහැ. මැතිනියගේ පොටෝ එක නැතුව බැහැ. පක්ෂයේ පාට නැතුව බැහැ. අපි කරන දෙයක් අපේ කරන දෙයක් හෘද සාක්ෂියට එකඟව කරන්න ඕනෑ. කතා කරන දෙයක් හෘද සාක්ෂියට එකඟව කතා කරන්න ඕනෑ. මේ රට හෙට දවස වෙනුවෙන් සූදානම් කරන්න අවශ්‍යයි. හෙට උපදින දරුවන්ට හොඳ රටක් හදන්න ඕනෑ. ශීලාචාර දේශපාලනයක් තියෙන්න අවශ්‍යයි. රට වෙනුවෙන් කැපකිරීම කරන්නට ඕනෑ. වංචාව, දූෂණය, හොරකම නාස්තිය මේ සියල්ල පිටුදැකලා, මේ රට ලෝකයේ සියලු දෙනා පිළිගන්නා විනයක්, හික්මීමක් ඇති නීතියට ගරු කරන රටක ජනතාවක් බවට පත්කරන්න අවශ්‍යයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, බුලත් කොළයට, අත ලකුණට ඡන්දය දෙන හැම කෙනෙක්ම මම සලකන්නේ මේ රටේ දේශප්‍රේමියෙක් විදියටයි. දූෂණයට, වංචාවට, පවුල්වාදයට, නාස්තියට විරුද්ධව බලය අයුතු ලෙස පාවිච්චි කරන අයට ඡන්දය දෙන කෙනෙක් විදියටයි.

පහන් විජේසේකර
ඡායා - කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon