ජනවාර්ගික අර්බුදයට සාරවත් දේශපාලන විසඳුමක් ලබා දෙනවා

  👤  3074 readers have read this article !
By mawbima 2018-01-17

ජනවාර්ගික අර්බදයට සාරවත් දේශපාලන විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (15දා) අරලියගහ මැඳුරේදී පැවැති ජාතික තෛපොංගල් දින සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.
මෙවර ජාතික තෛපොංගල් දින සැමරුම් උළෙල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක ආර්. සම්පන්දන්, බන්ධනාගාර පුනරුත්ථාපන සහ හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ශිව දෙවි වන්දනාවෙන් අනතුරුව පැවැති සාම්ප්‍රදායික දෙමළ පිළිගැනීමේ නර්තනයකින් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උත්සව සභාව අමතමින් එහිදී මෙසේද පැවැසීය.
වෙනස් වන ලෝකය තුළ දෙමළ සංස්කෘතිය රැක ගැනීමට තෛපොංගල් උපකාරි වුණා. ලෝකය තුළ කුමන ගැටලු ඇති වුවත් දෙමළ සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කරමින් තෛපොංගල් උත්සවය පැවැත්වෙනවා. මෙම උත්සවයට ඉන්දියාවේ මෙන්ම අපේ රටේ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. යුද්ධය පැවැති අවස්ථාවෙත් එය බාධාවක් කර නොගෙන අප කවුරුත් තෛපොංගල් උත්සවය සැමරුවා.

වප්මඟුල මෙන්ම තෛපොංගල් උත්සවය අප රටේ අස්වැන්න සම්බන්ධයෙන් තිබෙන වැදගත් අවස්ථාවක් බව සඳහන් කළ යුතුයි. සිංහල සහ දෙමළ සමාජයේ මෙම උත්සවවලට වැදගත් තැනක් ලැබෙනවා. මෙවැනි සංස්කෘතික ලක්ෂණ හඳුනාගෙන අප සියලුම දෙනා ඒ සංස්කෘතීන්ට ගරු කළ යුතුයි.
යුද්ධය නිසා යාපනයේ මෙන්ම රටේ විවිධ ප්‍රදේශවල ජනතාවට හානි සිදු වුණා. අප දැන් ඒ තුවාල සුවපත් කරගත යුතුයි.
සිංහල සහ දෙමළ සංස්කෘතීන් අතර සබඳතාව අප තව තවත් ශක්තිමත් කර ගත යුතුයි. මේ රටේ සංහිඳියාව ඇති කරන්න අප කටයුතු කරනවා. එහි ආරම්භයක් මේ වන විට සිදුවී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මණ්ඩලයක් පත් කර තිබෙනවා. පවතින දේශපාලන ගැටලුවලට අප පිළිතුරු ලබාදිය යුතුයි. ඒ වගේම ගැටලු විසඳීම සඳහා සියලු දෙනා එක් කරගත යුතුයි.

මුළු රටම ආවරණය වන පරිදි අප සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක කරනවා. දේශපාලනය තුළින් රටේ යහපතට හොඳ අස්වැන්නක් ලබා ගත යුතුයි. රටේ සංවර්ධනයට ප්‍රමුඛස්ථානය දෙමින් අප ක්‍රියා කරනවා. ඉදිරියේදී ඡන්දයක් පැවැත්වෙනවා. උතුරට, දකුණට, බටහිරට, නැඟෙනහිරට, සෙසු පළාත්වලට ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට අපි අදිටන් කර ගමු. රටට සෞභාග්‍ය ගෙන ඒම සඳහා සියලු දෙනා කැපවී කටයුතු කරමු.

විපක්ෂ නායක ආර්. සම්පන්දන්
මා අද මෙම උත්සවයට එන්නට පෙර ලක්ෂ්මන් කදිරගාමර් සමරු වැඩසටහනකට සහභාගි වුණා. එහිදී ඉන්දීය අමාත්‍යවරයකුගේ දේශනයකට ඇහුම්කන් දීමට අවස්ථාව ලැබුණා. ඉන්දියාවේ ජන වර්ග විශාල ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ට සම අයිතියදී තිබෙන බවත් එම අමාත්‍යවරයා පැවැසුවා.

නමුත් ලංකාවේ අපට තවමත් එම තත්ත්වයට පැමිණීමට හැකිවී තිබේ දැයි ගැටලුවක් තිබෙනවා. අප බිහිසුණු අතීතයක් සහිත යුගයකින් මිදී බලාපොරොත්තුවක් තබාගත හැකි යුගයකට පැමිණ තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මේ ප්‍රශ්න විස¼දා ගැනීම සඳහා විශාල උත්සාහයක් ගන්නවා. නමුත් තවමත් එය ඉටු කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
ඡායා - වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon