රවිලා, රනිල්ලා, අර්ජුන්ලා, බේරගන්න කොමිෂන් වාර්තාව වෙනස් කරනවා දැයි සැකයි

  👤  3267 readers have read this article !
By mawbima 2018-01-17

මහ බැංකු මහා මගඩියේ චූදිතයන් වන රවි කරුණානායකලා, රනිල් වික්‍රමසිංහලා අර්ජුන මහේන්ද්‍රන්ලා ඇතුළු මේ මහා මගඩියට දායක කාරකාදීන් වූ පිරිස් බේරා ගැනීම වෙනුවෙන් මේ කොමිෂන් වාර්තාව ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරනවාද කියා සැකයක් මතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (16දා) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මන්ත්‍රිවරයා එහිදී මෙසේද කීය.
"හැබැයි ඔය මහ බැංකු මගඩියේ වාර්තාවේ අකුරක්, ඉස්පිල්ලක් හෝ පාපිල්ලක් වෙනස්ව තිබුණොත් ජාතික නිදහස් පෙරමුණ විදියට අපි ඊට එරෙහිව නීති මඟට බහිනවා. මොකද වරදක් කිරීම වගේ වරද නිවැරැදි කිරීමට දරන උත්සාහයත් වරදක්.
බැඳුම්කර සිද්ධිය තමයි මෙරට ඉතිහාසයේත්, ලෝක ඉතිහාසයේත් අතිවිශාලම මහා පරිමාණ මූල්‍ය වංචාව. ජනාධිපතිවරයා මේ මගඩිය ගැන සොයා බලන්න ජනාධිපති කොමිසමක් පත් කළා.

කොමිසමේ වාර්තාව ලද වහාම ඊළඟට ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ එම වාර්තාව රටේ මූල්‍ය බලය හොබවන උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඒත් එය එසේ සිදු වුණේ නැහැ. ඊළඟට කළයුතුව තිබුණේ එය ජනතාවට ලබාදීමයි. නැතිනම් ඒ පිළිබඳ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමයි. ඒක සිදුවුණෙත් නැහැ. ඒ වෙනුවට දැන් මේ කොමිසමේ වාර්තාව මහා මගඩියේ චූදිතයන් අතට පත්වෙලා තියෙනවා.

කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවටත් ජනතාවටත් ලබා නොදුන් ජනාධිපතිවරයා කළේ මගඩියේ චූදිතයෙක් වෙච්ච රවි කරුණානායකට ලබාදීම. දැන් ඔහු කියනවා මේ වාර්තාව මා ළඟත් තියෙනවා. අගමැතිතුමා ළඟත් තියෙනවා කියලා. අගමැතිතුමා කියන්නෙත් මේ මගඩියේ චූදිතයෙක් බවට ජනතාවගේ විත්ති කූඩුවේ නැඟලා ඉන්න කෙනෙක්. ඒ වගේම මේ මහා මගඩියේ මහා මොළකරු ලෙස ජනතා විත්ති කූඩුවේ ඉන්න කෙනෙක්. ඒ විතරකුත් නෙවෙයි කොමිසම ඉදිරියේ සාවද්‍ය ප්‍රකාශ නිකුත් කළාට බොරු සාක්ෂි දුන්නාට දණ්ඩනීති සංග්‍රහය යටතේ සාපරාධි වරදක් කළාට නඩු පැවරිය යුතුයි කියලා එම කොමිසම නිර්දේශ කළ බවට ජනාධිපති ප්‍රකාශ කළා.
කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙද්දීත්, ජනාධිපතිවරයා ඒ බව රටට හෙළි කරලා තිබෙද්දීත් මොනවද කළේ?
මහ බැංකු මගඩිය සෙවීමට පත් කළ කොමිසමේ වාර්තාවක් රවි කරුණානායකට ලබාදීම.

දැන් ඔහු කියනවා ඒ වාර්තාව පිළිගන්න බැහැලු. මේ කොමිසම විසින් චූදිතයෙක් විදියට නම් කරලා දණ්ඩනීති සංග්‍රහය යටතේ සාපරාධී වරදක් කළා කියන කෙනායි මේ කියන්නේ මේක පිළිගන්න බැහැ කියලා. මේ වාර්තාව රවි කරුණානායක පිළිගන්නෙත් නැහැ. අග්‍රාමාත්‍යවරයා පිළිගන්නෙත් නැහැ.
මුදල් බලය හොබවන පාර්ලිමේන්තුවට මේ වාර්තාව හිතාමතාම ලබා නොදී හිතාමතාම ප්‍රමාද කළේ මේ වාර්තාව අතරමඟදී තමන්ට ඕන විදියට චූදිතයන් බේරාගන්න ආකාරයට වෙනස් කිරීමටයි කියන සැකය අප තුළ මතුවෙනවා. ආරංචි මාර්ගවලින් ලැබෙන තොරතුරුවලට අනුව නම් එය වෙනස් කිරීමට දැනටමත් කටයුතු කරගෙන යනවා.
සැබැවින්ම සද්භාවයක් තිබුණා නම් ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධානියා ලෙස ජනතා පරමාධිපත්‍යයේ ඊළඟ ආයතනය වන පාර්ලිමේන්තුව ඉල්ලුවත් නැතත් ඒ වාර්තාව සැපයීමයි ජනාධිපතිතුමාගේ වගකීම විය යුතුව තිබුණේ.

අපිට පේනවා ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට ගෙවන්න තියෙන ලොකු ණයක් ගෙවනවා කියලා.
හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon