මට ඒකාධිපතියා කියලා චෝදනා කළාට ඒකාධිපතියා කවුද කියා අද රටම දන්නවා

  👤  3505 readers have read this article !
By mawbima 2018-01-17

වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ වැරැදි වසා ගැනීම වෙනුවෙන් කරන එකම කටයුත්ත තමාට බැනවැදීම වන අතර ඒකාධිපතියා යැයි තමාට පැවැසූ අයම ජනාධිපති ධුර කාලය දික්කර ගැනීමට කටයුතු කරන බව හා ඒකාධිපතියා කවුද කියා දැන් රටම දන්නා බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කඩුවෙල දිනන සටන තේමාවෙන් ඊයේ (15දා) මාලඹේ අරංගලදී පැවැති ජන රැලියකදී පැවැසීය.
මම අවුරුදු 2කට ඉස්සෙල්ලා ඡන්දයකට ගියා. පැරැදුණා. මම ඒ අවුරුදු දෙක පරිත්‍යාග කළා. දැන් මට වුණ දේම සිරිසේන මහත්තයාටත් වෙලා. පැරැදුණ එක හොඳයි. බලපුවහම දැන් හොඳට මිනිස්සුන්ව හඳුන ගන්න පුළුවන් මට.

රටේ අගමැති කෙනෙක් ඉන්නවා මරු ඩාන්ස් දාන්නේ එයා. මෙහෙම අය තමා අද අපේ රටේ අගමැතිවරු. බාර් පනත ගෙනාවා. ජනාධිපති ඒක කැන්සල් කළා. ජනතාවාදී පාලකයෙක් කියලා කියන්නයි මේවා කරන්නේ. මේවා ප්ලෑන්. ජනාධිපති උපදේශකයන් කියන වැඩකරන්න වුණාම වෙන්නේ මේ වගේ දේවල්.
මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා අපරාධ වැඩියි. මේ රටේ පාලනයක් නැහැ. ඇමැතිවරු එකිනෙකා බැන ගන්නවා. අගමැතිට හොරා කියනවා. ජනතාව ඉදිරියේ මෙයාලා නිරුවත් වෙලා තිබෙන්නේ. දැන් පාසල් යන දරුවෙක් වගේ අගමැති පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ.

අද රටට ආයෝජකයෝ එන්නේ නැහැ. පාරේ හැම තැනම උද්ඝෝෂණ. ඉතින් රටට ආයෝජකයෝ එයිද? හමුදාවට මේ ආණ්ඩුව කළේ මොකක්ද රුපියල් 4,000 ගාණක් රණවිරුවන්ගේ පඩියෙන් කපා ගත්තා. මෙයාලා මොනවද කියන්නේ. අපට අපහාස කරනවා විතරයි. අපි හදපුවා විවෘත කරනවා. මේ අයට මිනිස්සු තවත් රැවටෙන්නේ නැහැ.
අපියි මේ රටේ සංහිඳියාව ඇති කළේ. හැම ජාතියකටම ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කළේ අපියි. ඔය සමහර හාමිනේලා කියන කතාවලට මම උත්තර දෙන්න යන්නේ නැහැ. එයා කියනවා යුද්ධය ඉවර කළේ එයාලු.

මගේ පින්තූරේ දැන් ශ්‍රී ලනිපයත් ගහනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ ලකුණ පොහොට්ටුවයි. ශ්‍රී ලනිපය තුළ අද තිබෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නෙවෙයි. චන්ද්‍රිකාගේ ප්‍රතිපත්තියි. යූඑන්පීය සේරම ජරා වැඩ කරන්න යොදාගන්නේ ශ්‍රී ලනිප ඇමැතිවරුයි. මේ දේවල්වලට රනිල්ලට ඉඩදෙන්න එපා. යූඑන්පී පළාත් සභා මන්ත්‍රින් පවා වත්මන් ජනාධිපතිට මඩ ගහනවා. එතකොටත් බනින්නේ මට. ඒ ජනාධිපති හිනාවෙවී බලන් ඉන්නවා. මෙහෙම ජනාධිපතිලා රටට මොකටද?
මේ දේවල් නවත්වන්න නම් පෙබරවාරි 10 පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න.

ඒකාබද්ධ විපක්ෂ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා
රට බෙදන්න ඕනෑ කියපු බටහිර රටවල් එක්ක එකතු වෙලා රනිල්, ජවිපෙ කට්ටිය තමයි ජනවාරි 8 මහින්ද රාජපක්ෂව පරාද කළේ.
අද රුපියල බාල්දු වෙලා. පොල් ගෙඩිය රුපියල් 100ට ගත්තේ කවද්ද අපි. මේ කාලකණ්ණි ආණ්ඩුව මට්ටු කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහතාට පමණයි. මෙහෙම හොරකම් කළේ නෑ මේ රටේ කිසිම ආණ්ඩුවක්. රටේ දරුවන්ට ලබාදෙන සහන නැති කරපු ආණ්ඩුවක් මේක.
ගොවියන්ට පොහොර දෙන්න බැහැ ආණ්ඩුවට. එහෙම ආණ්ඩු කොහෙද අපේ රටේ තිබුණේ. මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ.
පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්

සිරිසේන මහත්තයා තරම් බාල්දු වෙච්චි ජනාධිපති කෙනෙක් අපේ රටේ ඉඳලා නැහැ. අවුරුදු 6ක් ඉන්න පුළුවන්ද කියලා ජනාධිපතිතුමා ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් අහපුවහම අවුරුදු 6ක් ඉන්න බෑ කිව්වා. ජනාධිපති තනතුරට පුදුම කෑදරකමක් ඇති කරගෙන තිබෙන්නේ සිරිසේන ජනාධිපතිතුමා.
කම්බ හොරුන්ට දඬුවම් දෙනවා කිව්වාට මුකුත් වෙන්නේ නෑ. කඩුව අතේ තියාගෙන ඔහේ බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුව ගෙදර යැවීමේ වැඩපිළිවෙළ මේ මැතිවරණයෙන් ආරම්භ කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා
අවුරුදු 3කින් මේ ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් සටනකුයි පෙබරවාරි 10 තිබෙන්නේ. මේ මූසල ආණ්ඩුව එපා. නැවත මහින්ද රාජපක්ෂ යුගයක් ඇති කළ යුතුයි කියන සටනයි එදාට තියෙන්නේ. ලෝකේ කිසිම රටක අගමැතිවරයෙක් රටක් හිනස්සලා නැහැ.
මේ ජනාධිපති තොත්ත බබෙක්ද? එයා දන්නෙ නෑ අරක්කු ගැසට් නිවේදන ගැන. ඒවා දැනගන්නේ කාර් එකේ රෝඩියෝවලින්. මෙහෙම ජනාධිපතිලා ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. ජනාධිපතිකම අහෝසි කරනවා වෙනුවට ඒක බාල්දු කරනවා මෙයා. මේ දෙන්නට රටේ ආණ්ඩුව කරන්න පුළුවන්ද? මේක ආ¾ඩි හත්දෙනාගේ කැඳ හැළිය වාගේ කියලා ජනාධිපතිවරණයේදී අපි කිව්වා. කිව්ව වගේම අද මුළු රටම කැඳ හැළියක් වෙලා ඉවරයි.
පෙබරවාරි 11 මේ රටට එළිය වැටෙනනේ මේ මූසල ආණ්ඩුව නැති රටකටයි. පෙබරවාරි 10 ඡන්ද පෙට්ටිය පොහොට්ටුවෙන් පුරවන්න ඕනේ. ජනවරම තිබෙන්නේ පොහොට්ටුවට කියලා එදාට අපි පෙන්වන්න ඕනේ. දහවැනිදාට කතිර සුනාමියක් ඇති කරන්න ඔබ සියලු දෙනාම පොහොට්ටුවට ඡන්දය ලබා දෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන
9%ට තිබුණු ණය පොලිය 28%ක් විතර වෙලා තිබෙනවා අද. ඒ බැඳුම්කර මගඩිය නිසයි. අද මිනිස්සු ණය ගෙවා ගන්න බැරිව වස බොනවා. බැංකු හොරකම කරපු උන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම වන්නේ පොහොට්ටුව ජයග්‍රහණය කරවීමයි. මහින්ද රාජපක්ෂගේ යුගයේ ඩොලරය රුපියල් 130කට පමණ තිබුණා. අද එය 150කට විතර නැඟලා. ලෝකේ කිසිම අගමැති කෙනෙක් පාර්ලිමේන්තුව කැඳවලා තමාගේ කාලයේ සිදුවෙච්ච ණය පිළිබඳව ගැටලු ඇතිවෙලා තියෙනවා කියලා නැහැ. අද අගමැතිතුමා ඒකත් කළා පාර්ලිමේන්තුවේ.


රට ගොඩනඟපු සක්විති රජකම ලැබුණත් මේ රට පාවානොදුන් නායකයාව යළිත් මේ රටේ නායකයා කරන්න 10 වැනිදාට පොහොට්ටුව දිනවිය යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර
අද අපි කළ යුතු ප්‍රධාන කාරණය මේ රජය බිඳදැමීමයි. මේ ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ක්‍රියාකරන උන්මන්තකයා පලවා හැරිය යුතුයි.
අපිට කරන්න තියෙන්නෙ එක දෙයයි. එක්කෝ අපි විනාශ වෙයි. නැත්නම් මේ ආණ්ඩුව විනාශ කළ යුතුයි. මේ ආණ්ඩුව විනාශ කරන්න නම් පොහොට්ටුව විජයග්‍රහණයකට රැගෙන ආ යුතුයි.

පළාත් සභාවල බලය අරන් මදි. අපි ආණ්ඩු බලයත් ලබා ගත යුතුයි.
ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා
මහින්ද රාජපක්ෂව එදා පරාජය කළේ කුමන්ත්‍රණයකින්.
එදා සයිනයිට් කරල කරේ එල්ලගත්තු දරුවා අද හොඳට ඉගෙන ගන්නවා. ඒ මහින්ද රාජපක්ෂ මේ රටේ යුද්ධය නැති කරපු නිසයි. මේ රට බෙන්න ව්‍යවස්ථාව නවත්වන්න පුළුවන් 10 වැනිදාට පොහොට්ටුව දිනුවොත් පමණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන
දැන් යහපාලන ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව නිකුත් වෙලා තියෙනවා. මහ බැංකුව හොරා කාපු එකට ලකුණු 100න් 100යි. රණවිරුවෝ දණ ගැස්සවපු එකට ලකුණු 100න් 100යි. අද මේ රටේ ජනතාවට ලැබුණු දෙයක් නැහැ. වත්මන් අගමැති වගේ රටට විහිළු සපයපු කෙනෙක් මේ රටේ හිටියේ නැහැ.

නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල
අද වෙනස කොහොමද කියලා රටේ ජනතාවට දැනිලා තිබෙනවා. අද අම්මලා කඩේ ගිහින් ගෙදර එන්නේ බැන බැන. ගොවියන්ට පොහොර ටික නැහැ.
අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කළේ රනිල් වික්‍රමසිංහයි. බැඳුම්කර මගඩියට වගකිවයුත්තා රනිල් මහත්තයයි. අගමැති රනිල්ව හිරකූඩුවට දක්කන තුරු අපි මේ සටන නවත්වන්නේ නැහැ.

සිනමා නිළි අනුෂා දමයන්ති
කේසර සිංහයෙක් වගේ ඉන්න මහින්ද රාජපක්ෂව අපි නැවත මේ රටේ නායකයා කළ යුතුයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, මාළඹේ - රාජිකා රණසිංහ
ඡායා - සසඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon