මේසපන්දු කණ්ඩායමත් පුහුණුකරුත් තවම නැහැ

  👤  3268 readers have read this article !
By mawbima 2018-01-16

ගමිත දෙහිපිටිය

එළැඹෙන අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම නම් කිරීමට සහ එම කණ්ඩායම සඳහා ජාතික මේස පන්දු පුහුණුකරුවකු පත් කිරීමට ශ්‍රී ලංකා මේසපන්දු සංගමය මේ දක්වා අපොහොසත් වී ඇති බවත් එම නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම මේ වනතුරුත් සිය පුහුණුවීම් ආරම්භ කර නොමැති බවත් ශ්‍රී ලංකා ජාතික මේසපන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ලලිත් ප්‍රියන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩාවේ පවතින පරිහානිය සහ ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවැති ජාතික මේසපන්දු පුහුණුකරු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව කරුණු දැක්වීමට පසුගියදා කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය විය. එම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික මේසපන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ලලිත් ප්‍රියන්ත මහතා, හිටපු ජාතික පුහුණුකරුවකු වූ එන්. එච්. පෙරේරා මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ මේසපන්දු ක්‍රීඩා සම්බන්ධීකාරක දයා සමරවීර යන මහත්වරු සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලලිත් ප්‍රියන්ත මහතා "ක්‍රීඩා ඇමැතිතුමාට ක්‍රීඩාව දියුණු කරන්න විශාල වුවමනාවක් තිබෙනවා. පසුගියදා පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමේ පුහුණුකරු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට මමත් සහභාගි වුණා. එහිදී මේසපන්දු පුහුණුකරු තේරීම සිදුකළේ සුදුසු පුද්ගලයන් නොවෙයි. ඔවුන් මේසපන්දු ක්‍රීඩාව ගැන කිසිම දැනුමක් ඇති අය නොවෙයි.

ඒ වගේම සම්මුඛ පරීක්ෂණය පවත්වල තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමකින් තොරවයි. මම ක්‍රීඩා ඇමැතිතුමාට ඒ ගැන පැමිණිලි කළා. එතුමා ඒ අවස්ථාවේදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජනයකින් තොරව එම සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියල නියෝග කළත් අද වන තුරුත් කිසිම පරීක්ෂණයක් පවත්වා නැහැ. එතුමා ලබා දෙන නියෝග නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ නැතිනම් ක්‍රීඩාවක් දියුණු වෙන්නේ කොහොමද." යනුවෙන් පැවැසීය.

ඡායාරූපය - සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon